බසය තුල කාන්තාවකගේ රන් මාලය සොරාගත් කාන්තාවන් 03ක් රිමාන්ඩ්

ගාල්ල සිට අම්බලන්ගොඩ දක්වා ධාවනය වූ බස් රථයකදී කාන්තාවකගේ රුපියල් 90,000ක් වටිනා ගෙළ බැඳි රන්මාලය සොරාගත් කාන්තාවන් තුන්දෙනෙකු ලබන 21 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (13) දහවල් නියෝග කලේය..

මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ හලාවත සහ පුත්තලමේ පදිංචි 21, 20, 40 හැවිරිදි වියෙහි පසුවු සාස්තර කියන කාන්තාවන් තිදෙනෙකි. 

මෙම සැකකාරියන් අතර ගැබිනි කාන්තාවක් ද සිටින බවද පොලිසිය අධිකරණයට පැවසීය.

කොවිඩ් මර්ධන තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා රන් මාලය පැළඳ සිටි දොඩන්දුව පදිංචි කාන්තාවක් සිය සහෝදරිය සමඟ දොඩන්දූව සිට හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගමන් කරමින් සිටි බස් රථයේ පිටුපස එය සොරාගත් කාන්තාවන් සිට ඇති බවත් පසුව කාන්තාව බස් රථයෙන් බසින අවස්ථාවේදී පසුපස දොරටුව අවහිර කරමින් රන් මාලය සොරාගත් කාන්තාවන් තුන්දෙනා පලායමින් සිටියදී ඒ අසලින් රාජකාරියකට යමින් සිටි හික්කඩුව පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය අධිකරණයට කියා සිටියේය.

සැකකාරියන් අතර ගැබිනි කාන්තාවක් සහ අවුරුදු එකහමාරක දරුවෙක්ගේ මවක් සිටින බැවින් රන්මාලයද හමුවී ඇති බැවින් සැකකාරියන් ඇප ලබාදෙන ලෙස සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ඉල්ලීමක් කළේය.

සැකකාරියන්ට ජාතික හැඳුනුම්පතක්, ස්ථිර පදිංචියක් නොමැති බැවින් ඇප දිමෙන් විමර්ශනවලට බාධා විය හැකි බව පොලිසිය අධිකරණයට කියා සිටියේ ය.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැසැකකාරියන් ලබන මස 21 වෙනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය. 

Werzuo Digital

Leave a Reply