2024 දැඩි නියඟයක් ගැන අනතුරු ඇඟවීමක්

මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වූ වැසි වැස්සත් ලබන 2024 වසරේ යල කන්නයේ දැඩි නියඟයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අංශවලට පූර්ව අනතුරු අඟවා තිබේ.

යල කන්නයේ වගා කටයුතු ලබන 2024 වසරේ මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

ලබන වසරේ යල කන්නයේදී දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බැවින් ජලය අරපිරිමැස්මෙන් කළමනාකරණය කර ගැනීම පිළිබඳව කාලගුණික අංශ විසින් දැනුවත් කර තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න ප්‍රකාශ කර තිබේ.

එම තත්ත්වය මත මෙවර මහ කන්නය කල් ඇතිව ආරම්භ කරන ලෙසත් ජලය ආරක්ෂා කර ගන්නා ලෙසත් ගොවීන් කල් ඇතිව දැනුවත් කළ බවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මෙම වැඩපිළිවෙළ හරහා ලබන වසරේ යල කන්නයේ වගා කටයුතු සඳහා වැව්වල යම් ජල ප්‍රමාණයක් හෝ ඉතිරි කර ගැනීමේ සැලසුමක් පවතින බවද ඔහු සඳහන් කර තිබේ.

මේ දිනවල හැකිතරම් වැසි ජලයෙන් වගා කටයුතු කරන ලෙස ගොවීන්ව දැනුවත් කර ඇතැයිද ඔහු පැවසීය.

එල් නිනෝ බලපෑම මත සාමාන්‍යයෙන් ජනවාරි සිට වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (පර්‌යේෂණ සහ දේශගුණික විපර්යාස) අනූෂා වර්ණසූරිය මහත්මිය පවසයි.

එල් නිනෝ තත්ත්වය යටතේ වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවන නමුත් කෙටි කාලීන අඩු පීඩන කලාප ඇතිවී යම් යම් කාලවලදී වැසි ඇතිවීමේ ඉඩකඩ පවතින බවද ඇය පැවසුවාය.

එල් නිනෝ තත්ත්වයකදී දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පවතින්නේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී බවත් ජලාශවල ඉතිරි කර ගන්නා ජල ප්‍රමාණය මත වගා කටයුතු කරන ප්‍රමාණය සම්බන්ධයෙන් මෙහිදී බලපෑමක් ඇතිවන බවද අධ්‍යක්ෂවරිය කියා සිටියාය.

කෙසේ නමුත් සාමාන්‍ය කාලයකදී වුවත් පෙබරවාරි සහ මාර්තු මාසවලදී වැඩි වර්ෂාපතනයක් මෙරටට නොලැබෙන බවත් වැව්වල තිබෙන ජලය ලබන වසරට උපරිම ලෙස අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් කෘෂිකර්ම අංශවලට උපෙදස් ලබා දී ඇතැයිද ඇය පැවසුවාය

Werzuo Digital

Leave a Reply