ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

ඉහත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එමගින් නිවේදනය කරයි.

ඒ අනුව එම ජනතාවට විමසිලිමත් වන ලෙස ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර අධික උණුසුම් කාලගුණය හමුවේ ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දීමක් සිදුකරයි.

විශේෂයෙන් ළදරුවන්,අවුරුදු 4 ට අඩු ළමයින්, අවුරුදු 65 ට වැඩි වයස්ගත පුද්ගලයින්, තරබාරු පුද්ගලයින්, අධික ලෙස ශරිරය වෙහෙසවන අය සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වයෙන් ආරක්ෂා විය යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.
         
අධික උණුසුම් කාලගුණයෙන් විය හැකි අයහපත් ශාරීරික බලපෑම් අවම කරගැනීමට ගත හැකි ප්‍රධානම පියවර වන්නේ ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම වන අතර කය වෙහෙසවන අවස්ථා වලදී පැයකට ජලය වීදුරු 2 ත් 4 ත් ප්‍රමාණයක් ගැනීම සුදුසු බවද සෞඛ්‍ය අංශ පවසයි.
         
හැකි සෑම විටම ගෘහස්ථව හෝ ආවරණ සහිත ස්ථාන වල හෝ සෙවන ඇති ස්ථාන වල රැදී සිටීම, වායු සමීකරණ හෝ විදුලි පංකා භාවිතය, සිසිල් ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම ලා පැහැති, කපු රෙදි වලින් මැසූ සැහැල්ලු ඇඳුම් ඇඳීම, සිරුර හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට තොප්පියක් පැළඳීම හා කුඩයක් භාවිතා ආදී පියවර අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

Werzuo Digital

Leave a Reply