අරගලයේ අරමුණු ඉටුවී නැති බව ජනතාවගෙන් සියයට 60ක් කියති

ගාලුමුව‍ෙදාර පිටියෙන් අරගලකරුවන් ඉවත් වී වසරක් ගතවුවද අරගලයෙන් තමන් බලාපොරොත්තු වූ දේ ඉටුව නැතැයි යන්න රටේ ජනතාවගෙන් 60% කගේ මතය වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

රට නැවත ගොඩගැනීමට නම් ස්ථාවරත්වය ගැන සිතීම වෙනුවට දූෂිත, අයහපත් පාලනය නිවැරදි කිරීම අවශ්‍ය යැයි ජනතාවගෙන් 51%ක් විශ්වාස කරන බවද එම ආයතනය කියයි.

ගාලුමුව‍ෙදාර අරගලය නිමා වී වසරක් ගත වනවිට ජන මනස පවතින ආකාරය සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් කළ ජනමත විමසුමකින් මෙම කරුණු අනාවරණය වී තිබේ.

අරගලය මඟින් ජනතාවගේ බලාපොරොත්තු අභිලාෂයන් හා සිතුම් පැතුම් ඉටු වූයේ ද නැතිද කියා ඇසූ පැනයට සමීක්ෂණයට සහභාගි වූ ජනතාවගෙන් 60%ක පිළිතුර ‘බොහෝදුරට නැත’ යන්න වී තිබේ.

බොහෝදුරට ඒවා ඉටු වූ බව පවසා ඇත්තේ 11%ක ප්‍රතිශතයකි. 29%ක් පවසා ඇත්තේ ඒ ගැන අදහසක් නැති බවයි. 

එසේනම් රට ගොඩගැනීම සඳහා කළ යුතු වන්නේ කුමක්දැයි ප්‍රකාශ 03ක් ඇසුරෙන් ජනතාවගෙන් විමසා බැලීමද එහිදී සිදුව ඇත.

එහිදී නියැදියෙන් 51%ක් පවසා තිබෙන්නේ රට යළි ගොඩනැඟීමට නම් දූෂිත අයහපත් පාලනය නිවැරැදි කිරීම අවශ්‍ය බවය.

රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අවශ්‍යයයි යන ප්‍රකාශයට 34%ක් එකඟවෙද්දී ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ස්ථාවරත්වයට මුල් තැන දීම අවශ්‍ය බවට එකඟ වී තිබෙන්නේ 15%කි.

රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008 දෙනකුගේ නියැදියක් පදනම් කරගෙන මෙම සමීක්ෂණය කර ඇත. මෙයට දත්ත එකතු කිරීමේ සහාය වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනයෙනි.

Werzuo Digital

Leave a Reply