මිලියන ගණන් ලංකාවට ඩොලර් ගෙන ආ හැකි දකුණේ කුරුඳු කොළ තෙල් කර්මාන්තයට කණකොකා හඬන බව කර්මාන්තයේ නියුක්ත ගොවින් පවසති.
හය මසකට පෙර රුපියල් 4,500ට පැවැති කුරුඳු තෙල් බෝතලය අද වන විට රුපියල් 2,000 – 2,200ට මිලට අඩු කර ඇති බවට ඔවුහු චෝදනා කරති.
රාජ්‍ය මැදිහත්වීමක් නැති මෙම කර්මාන්තය පෞද්ගලික වෙළෙඳ මාෆියාවට නතුව මෙසේ මිල පහත දමන බව කර්මාන්ත නියුක්තිකයෝ පවසති.
ලංකාවේ පොල් ගස හැරුණු විට දෙවැනි කප්රුක කුරුඳු ගසයි. එහි ලෙල්ල කුරුඳු ලෙස විදේශිකයන්ගේ ආහාර නිෂ්පාදනයටත් කොළවලින් ගන්නා කුරුඳු තෙල් සුවඳ විලවුන් සඳහාත් හීන් අතුවලින් හා ගොරහැඩි ගස්වලින් ගන්නා කට්ට තෙල් නිෂ්පාදනයටත්, ඉවතලන රොඩු බැටළුවන්ගේ සනීපාරක්ෂාවටත් වශයෙන් විදේශ රටවලට යවා බිලියන ගණන් ඩොලර් උපයයි. ඉවතලන ශාක කොටස් දර ලෙස භාවිත කරයි.
මෙසේ වටිනා ශාකයෙන් ගන්නා කුරුඳු තෙල්වලට අද වන විට වෙළෙඳ මාෆියාව නිසා නිශ්චිත හා සාධාරණ මිලක් නොමැති බව ඔවුන් චෝදනා කරයි.
කුරුඳු තෙල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා දහසක් පමණ තිබු බවත් මේ වන විට 400ක් පමණ විනාශයට ගොස් මිල අඩුවීම නිසා කර්මාන්තය කරන්න බැරි තත්ත්වයක් උදාවි ඇති බව ඔවුන් පවසයි.
නිෂ්පාදන වියදම දෙගුණව ඇති බවත් මෙම කර්මාන්තය සදහා රාජ්‍ය ආයතන අනුග්‍රහයක් ලබා දෙන ලෙසත් වැටුප් ගන්න නිලධාරීන් සිටින බවත් ඔවුන් වැඩ නොකරන නිසා කළුකඩකාරයට ඕන විදිහට මල්ල පුරවන බවත් ඔවුහු වැඩිදුරටත් පවසයි.