දශක දෙකක් මෙරට රැඳි සිටි මුතු රාජා සිය නිජ බිමට පා තබයි

ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය ‘‘මුතු රාජා‘‘ හෙවත් ‘‘සක්සුරින්‘‘ ඇතා රැගත් ගුවන් යානය අද (02) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ “චියෑන් මායි” ( Chiang Mai ) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

ඒ රුසියාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනි.

මෙම ඇතා රැගත් රුසියානු ඒවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ( Aviacon Zitotrans ) ඒ.ඉසෙඩ්.එස්.- 5701 දරන ගුවන් යානය අද උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ බලා පිටත් විය .

පැය 05 ක ගුවන් ගමනකින් පසුව මෙම ගුවන් යානය මේ වනවිට තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ .

හස්තියාට බැංකොක් ගුවන් තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණි.

හස්තියා‌ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අදහස් දැක්වූ තායිලන්ත ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා අර්ඛා මහතා, 

“මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තූති කරනවා. ඒ තායිලන්ත ආයතන රැසක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්. සක්සුරීන් ව පන්සලේ සිට සත්වෝද්‍යානය වෙත රැගෙන ඒමට සත්වෝද්‍යානයේ සිට ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට සහාය දීම ගැන. කොළඹ සිට චෙන්ග්මායි වෙත ගුවන්ගමන අපහසුතාවකින් තොරව සිදුවුණා. සක්සුරීන් මනා මානසික සහ ශාරීරික සුවයෙන් පසුවනවා. ඒ නිසා ඔහු අදම ගුවන්තොටුපොළ සිට අලි ඇතුන් රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළා. ඔහු දැඩි පිපාසයකින් පසුවීම සුබ ලකුණක්. ඔහු වැඩි ජල ප්‍රමාණයක් පානය කළා. මීට මිනිත්තු 15කට පෙර ඔහු ලම්පාන්ග් ප්‍රාන්තයේ අලි ඇතුන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා. ඒ ගමනට පැය 2 ක් පමණ ගතවෙයි.”

රැකබලාගැනීමේදී පැවති දුර්වලතා නිසා විටින් විට රෝගී වීමේ සිද්ධි පදනම් කරගනිමින් හස්තියා යළි මව් රටට රැගෙන ගියේ වැඩිදුර ප්‍රතිකාර සඳහාය.

තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස 2001 වසරේදී මෙරටට හිමි වූ මුතුරාජා මෙරට සිටි හීලෑ අලි ඇතුන් අතර දිගම දළ යුගල හිමි සද්ධන්තයාය.

මුතුරාජාගේ භාරකාරීත්වය අලුත්ගම කන්දේ විහාරයට හිමිවුණි.

දශක දෙකක කාලයක් මෙරට රැඳී සිටි මුතුරාජා හස්තියා යළි සිය මව් රට වෙත ගිය පැය 5කට අධික කාලයක් ගුවන් ගමනේ යෙදෙන අතරතුර ආරක්ෂිත කැමරා මගින් නිරතුරු පරීක්ෂා කිරීමටද කටයුතු යොදා තිබුණි

තායිලන්ත වෛද්‍යවරු දෙදෙනෙක්, තායිලන්ත හස්ති පාලකයින් සිව්දෙනෙක් සහ ජාතික සත්වෝද්‍යානයේ ප්‍රධාන හස්ති පාලකවරයා හස්තියා රැගෙන යාමේ කටයුත්තට එක්වුණි.

ගුවන් ගමන වෙනුවෙන් තායිලන්ත රජය දරා ඇති වියදම අම‍ෙරිකානු ඩොලර් ලක්ෂ 7කි

Werzuo Digital

Leave a Reply