මාස 6ට වෙඩි තැබීම් 34යි – මරණ 20යි

ඉකුත් ජනවාරි මස සිට මේ දක්වා මාස 6 තුළ දිවයින පුරා වෙඩි තැබීම් 34ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙම සිද්ධිවලින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් ඇත. මින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

ගිය වසරේ පමණක් වෙඩි තැබීම් 60කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවන් සහ වෙනත් ආකාරයේ වෙඩි තැබීම් මෙම සංඛ්‍යාවට අයත් බව කියන හෙතෙම, ඉකුත් 2022 වසරේ දිවයින පුරා වාර්තා වූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 559ක් බව ද අනාවරණය කළේ ය. මින් මනුෂ්‍ය ඝාතන 493ක් විසඳා ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු කීවේ ය.

2023 ජනවාරි මස සිට මේ දක්වා වාර්තා වී ඇති මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 255කි.

ඉකුත් මාස 6 තුළ සිදු වූ වෙඩි තැබීම් 34 තුළ සංවිධානාත්මක අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ වී සිදුකරන ලද වෙඩි තැබීම් ද ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා, පෞද්ගලික ආරවුල් නිසා ත් අනියම් ප්‍රේම සබඳතා නිසා සිදුවන වෙඩි තැබීම් ද ඇති බව කීවේ ය.

කෙසේ වෙතත්, ස්වයංක්‍රිය ගිනි අවිවලින් සිදුකරන වෙඩි තැබීම් බොහොමයක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කරන ලද ඒවා බව ද සඳහන් කළේ ය.

2023 වසරේ සිට මේ දක්වා වාර්තා වූ මනුෂ්‍ය ඝාතන 255න් මනුෂ්‍ය ඝාතන 223ක් අපරාධ විසඳා අවසන් බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අවධාරණය කළේ ය.

මෙම සිද්ධීන්වලට අදාළ වෙඩික්කරුවන්, ගිනිඅවි, ඔවුන්ගේ වාහන සහ සහය දක්වන්නන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.

Werzuo Digital

Leave a Reply