මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරණු පැහැදිලි කළේය.
එමෙන්ම අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටට ඉදිරිපත් කරනු ලැබීය.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධන, සමාජ ආරක්ෂණ ජාලය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යන ප්‍රධාන කුලුනු 04ක් ඔස්සේ රටේ ඉදිරි ගමන සැලසුම් කර තිබේ. රටේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයට අවශ්‍ය තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා පුද්ගලික අංශයේ යෝජනා ලබා ගැනීමට සංඝායනා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි රටේ ආර්ථිකය හැඬ ගස්වා නොගත හොත් රට ආපස්සට ගමන් කරන බවත් එහි අවසානය රට ආර්ථික යටත් විජිතයක් වීම බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, එබැවින් අප අලුතින් සිතා අලුත් ගමනක් යාමට කටයුතු කළ යුතු අතර ඊට අවශ්‍ය කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය යුතු බවත් අවධාරණය කළේය.
නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන්හි දූෂණ සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයක් තුළින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ඉදිරි වසර 05 තුළ රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන අතර,ඊළග වසර 25 තුළ ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන බව පැවසූ ජනාධිපතිවරයා මුල් වසර 05න් පසු රට නඟාසිටුවීමේ වැඩපිළිවෙළ ඊළඟ පරම්පරාවට පැවරෙන බවත් ඒ සදහා තරුණ තරුණියන් සූදානම් කරවන බවත් කියා සිටියේය. එම කාර්යයට උර දීමට අපේ තරුණ පරපුරට හැකියාව ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පහසු කටයුත්තක් නොවූවත් සෑම විටම රටට යහපත් දේ සිදු කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප ගන්නා තීරණ කෙතරම් දූෂ්කර සහ වේදනාකාරී වුව ද අනාගත පරපුර වෙනුවෙන් රට යළි ඉහළට ඔසවා තැබීමට හැකි වන්නේ එම දුෂ්කර මාවතේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණක් බවද කියා සිටියේය.
වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵලය අද අප සැම භුක්ති විඳින බවත් 70%ක් දක්වා ඉහළ නැඟ තිබු උද්ධමනය 25.2% ක් දක්වා පහළට ගෙන ඒමට හැකිව තිබෙන බවත් වැඩිදුරත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ නිසා ජනතාවගේ ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතින අතර මුළුමහත් සමාජයටම එම සහනය දැනෙන්නට පටන් ගෙන තිබෙන බව ද කියා සිටියේය.
පැමිණි අසීරු ගමනේ දී සියලු දුෂ්කරතා විඳගත් රටේ සමස්ථ ජනතාවට සිය කෘතඥතාව පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගත් අතර මෙම මාර්ගයේ ඉදිරියටම යාමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් නිසැකවම රටට යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගත හැකි බව ද කියා සිටියේය.
රට ගොඩනඟන ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කරමින් ජනපති ප්‍රකාශ කල ප්‍රධාන කරුණු
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ
ප්‍රධාන කුලුනු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා.
ඉදිරි වසර 05 තුළ රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන අතර, ඊළග වසර 25 තුළ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරනවා
රට ගොඩනැගීමේ දී තරුණ පරපුර පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා
කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී රාජ්‍ය – පෞද්ගලික අංශ සහයෝගීතාව ඉහළ නැංවීමට සංගායනාවක්
ජාතික ප්‍රතිසංවිධාන සැලැස්ම මෙම වසරේ අවසන් කාර්තුවේ දී
දූෂණය පිටුදැකීමට විශේෂ කාර්ය සාධක බළකායක්
ජනාධිපති මාධ්‍ය අංශය