ඇදුම රෝගය ගැන භයානක හෙළිදරව්වක්

ඇදුම රෝගය හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා පුද්ගලයන් ලක්ෂ පහක් මරණයට පත්වන බව මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දුෂ්‍යන්ත මැදගෙදර පවසයි.

මහනුවර අද (මැයි 18) පැවති ඇදුම රෝග පිළිබඳ ජාත්‍යන්තර දින සමරු වැඩසටහනකට සහභාගිවූ ඒ මහතා මෙම අදහස් පළ කළේ ය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහාචාර්යවරයා මෙසේ ද කීය.

“වාර්ෂිකව ලොව පුරා මිලියන 265ක් පමණ ඇදුම රෝගයට ගොදුරු වෙනවා. ඇදුම රෝගීන් ඉන්නවා. ඉන් ලක්ෂ පහක් පමණ වාර්ෂිකව මිය යනවා. මේ අතර කුඩා ළමුන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. සාමාන්‍යයෙන් ගත් කළ ළමුන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇදුම රෝග ලක්ෂණ තියෙනවා. දියුණු වෙමින් පවතින හා අඩු ආදායම් රටවල තමයි මේ රෝග තත්ත්වය බහුලව ම දකින්නට ලැබෙන්නේ. මේ ඇදුම රෝගය සහිත ළමුන් දස දෙනෙක් ගත්තොත් ඉන් පස් දෙනෙකුගේ රෝග තත්ත්වය ගැන කිසි කෙනෙක් නිසි දැනුවත්වීමක් නෑ.

මේක ඉතාමත් භයානක තත්ත්වයක්. ආසියානු, අප්‍රිකානු, දකුණු අමෙරිකානු රටවල වගේ ම තව ත් බොහෝ රටවල ඇදුම රෝග තත්ත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. මේකට හේතුව තමයි රෝගය පිළිබඳව මහ ජනතාව දැනුවත් නොවීම. ලංකාවේ වුණ ත් තත්ත්වය ඒකම තමයි. අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා රටේ ජනතාවගෙන්, ගුරුවරුන්ගෙන් කල් පවතින කැස්ස, හතිය, පපුවේ ‘රූං රූං’ ශබ්දය, නිතර කිවිසුම් යාම, ඇස් හා නාසය කැසීම වගේ ම නිතර උණ ගතිය තියෙනවා නම් වහා ම සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් හමුවී ඒ ගැන හොයා බලන්න කියලා.

ඇදුම රෝගය නිට්ටාවට සුව කරන්න බැරි වුණත් නිසියාකාරව ප්‍රතිකාර ගත්තොත් සාර්ථකව පාලනය කරන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ නිසියාකාරව ලබාගත්තොත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. මෙතන භයානක තත්ත්වය තමයි ඇදුම රෝගය තියෙන කෙනෙකුට නිව්මෝනියාව, කොරෝනා, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග හැදුනොත් ඒ රෝගී තත්ත්වය වඩාත් උත්සන්න හැකියාවක් පවතින එක.

ලංකාවේ තත්ත්වයත් කණගාටුදායකයි. ඒකට හේතුව තමයි නියමාකාරයෙන් රෝගය පිළිබඳව දැනුවත් නොවීම. කුඩා දරුවන් මේ රෝගයට ගොදුරු වීමේ ප්‍රතිශතය වැඩි යි. මේකට හේතු ගණනාවක් තියෙනවා වායු දූෂණය, නිවසේ, පාසලේ හෝ පරිසරයෙ අධික දූවිලි ගතිය, කාලගුණ විපර්යාස, අධික ශීතල, යම්කිසි ඉසින ද්‍රව්‍ය (ස්ප්රේ), දුම්වැටි භාවිතය වගේ ම දුම, රථවාහන මගින් පිටවන අධික දුම, මල් පරාග, ලොම් සහිත සතුන් ඇසුර ඒ වගේ ම අධික වෙහෙස, මානසික ආතතිය මේ රෝගය වැළඳීමට හා උත්සන්න වීමට හේතුවෙනවා.

මේ සම්බන්ධයෙන් නිසියාකාර දැනුවත් වීමෙන් රෝග සෑදීම වළක්වා ගැනීමට මෙන් ම නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය පාලනය කොට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනවා.”

Werzuo Digital

Leave a Reply