2023 මුල් මාස දෙකට සංචාරකයන්ගෙන් මෙරටට ඩොලර් මිලියන 331 අදායමක්

මේ වසරේ පළමු මාස දෙකේදී පමණක් රුපියල් කෝටි 10,200ක (අමෙරිකානු ඩොලර් මිලියන 331.7) ආදායමක් උපයාගැනීමට මෙරට සංචාරක කර්මාන්තය සමත්ව තිබේ.

මෙය පසුගිය 2022 වසරේ මුල් මාස දෙකේ සංචාරක ඉපැයීම් අගය වූ ඩොලර් මිලියන 321.1 හා සැසඳීමේදී සියයට 3.3ක වර්ධනයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මේ වසරේ පෙබරවාරි මාසයේ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 169.9ක් ලෙස වාර්තා වන අතර, 2022 වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,136.3ක් වූ බවත්, ඊට පෙර 2021 වසරේ මේ ප්‍රමාණය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 506.9ක් ලෙස බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

මේ වසරේ පළමු මාස දෙකේ පමණක් විදෙස් සංචාරකයන් 210,184 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, ජනවාරි මාසයේ 102,545ක් සහ පෙබරවාරි මාසයේ 107,639ක් ලෙස වාර්තා වී තිබෙන බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

මේ වසරේ පෙබරවාරි මාසයේ පමණක් ගත් විට රුසියාවෙන් වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබෙන අතර එය 29,084ක් පමණ වෙයි. ඊට අමතරව ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ මාලදිවයින යන රටවලින් වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා කර තිබේ.

Werzuo Digital

Leave a Reply