කරාපිටියේ ළමා පිළිකා වාට්ටුව වැහිලා මාස 04යි – දකුණේ අසනීප දරුවන් අමාරුවේ

කරාපිටිය පිළිකා රෝහලේ ළමා වාට්ටුව වසා දමා මාස හතරකට අධික කාලයක් ගතව ඇති බවත් මේ නිසා පිළිකා රෝගි ළමයින් මහරගම අපේක්ෂා රෝහලට ගෙන යාමට සිදුවිමෙන් තමන් මහත් දුෂ්කරතාවන්ට පත්ව ඇති බවත් දකුණු පළාතේ පිළිකා රෝගි ළමයින්ගේ දෙමව්පියෝ පවසති.
කරාපිටිය පිළිකා රෝහලේ මෙම ළමා පිළිකා වාට්ටුව ආරම්භ කර ඇත්තේ 2007 වසරේය.
එතැන් සිට පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා දකුණු පළාතේ පිළිකා රෝගි ළමයින් 300කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිට ඇත. එහෙත් මේ වනවිට එම වාට්ටුවේ කිසිම රෝගි දරුවෙකු නොමැති අතර වාට්ටුවේ සේවයක කල හෙදියන් 09 දෙනා වෙනත් වාට්ටුවලට මාරුකර ඇත.
මේ සම්බන්ධයෙන් පිළිකා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජයරත්න මල්වැන්න මහතා පැවසුවේ මෙම ළමා වාට්ටුවේ ඇඳන් අටක් තිබෙන අතර පිළිකා වාට්ටුවේ සිටින සියලුම රෝගිනට දවස් තුන්සිය හැට පහේම තම සංගමය ආහාර පාන ලබා දෙන බවය. එයට අමතරව මහරගම අපේක්ෂා රෝහලට යාම සඳහා දිමනාද ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දෙන බවත් ඒ මහතා පැවසිය.
කෙසේ වෙතත් පිළිකා රෝහලේ ළමා වාට්ටුව වසා දැමිම බලවත් අපරාධයක් බවද එනිසා හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු පත්කර නැවත ළමා වාට්ටුව ආරම්භ කිරිමට පියවර ගතයුත බවද ජයරත්න මල්වැන්න මහතා වැඩි දුරටත් පැවසිය.
මේ පිළිබඳව කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හර්ෂණී උබේසේකර මහත්මියගෙන් විමසුවිට කියා සිටියේ .කරාපිටිය රෝහලේ සිටි ළමා පිළිකා රෝග විශේෂඥ වෙද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලට ස්ථාන මාරුවක් ලබායාම නිසා වාට්ටුව වසා දමිමිට සිදුව ඇති බවය. ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ සිටින්නේ කිහිප දෙනෙකු නිසා මේ තත්වය ඇතිවි තිබෙන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩි දුරටත් පැවසුවාය.
Werzuo Digital

Leave a Reply