ලෝක උරුමයක් වන ගාල්ල කොටුවෙහි ජාතික උරුමයන් සහ එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි එහි ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් සිදු කිරිමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය 1988 දී ප්‍රකාශයට පත්කළ, යටත් විජිත යුගයේ ජීවමාන ලොව එකම නගරය වූ දකුණු පළාතේ ගාල්ල නගරයේ මුහුදට නෙරාගිය හෙක්ටයාර 32ක බිම් කඩක පෘතුගීසින් ඉදිකර වසර 433 ක් පැරණි ගාල්ල කොටුව, ප්‍රතිසංස්කරණය සහ අලුත්වැඩියා කිරීමෙන් පසු දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින් පසුගිය දා එම ස්ථාන නිරීක්ෂණය කරන ලදී.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබුණේ ගාල්ල කොටුවෙහි පෞරාණිකත්වය උරුමය ආරක්ෂා වන ආකාරයෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලෙසයි. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත්, ගාලු උරුමය පදනමේත් සහයෝගය හිමිවිය.
නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික් නාගරික සංවර්ධන කාර්යාලය ක්‍රියාත්මක කළ ගාලු කොටුව සංවර්ධන සැලසුම් ව්‍යාපෘතිය යටතේ ගාලු කොටුව සංවර්ධනය කොටස් 02 කට බෙදා වෙන්කර තිබිණ. බෙදා වෙන්කළ එම කොටස් නාගරික උත්ශ්‍රේණි 01 සහ නාගරික උත්ශ්‍රේණි 02 ලෙස නම් කර තිබිණ.
ඒ යටතේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස දක්වා තිබුණේ රෑම්පාට් උද්‍යානයයි. රෑම්පාට් උද්‍යානය වූ කලී, නිස්කලංක ගාලු කොටුවේ වඩාත් නිස්කලංක පරිසරයක පිහිටුවාලූ පොදු විවේකී පරිසර කලාපයයි.
ගාල්ල කොටුව උද්‍යානය හෙවත් රෑම්පාට් උද්‍යානයෙහි කොටු පවුර මත සහ ඇතුළත පොළොව මත අතීතයේ තිබූ අවි ආයුධවල සකසන ලද අනුරූප යළි ස්ථාපිත කර තිබේ. ඒ යටතේ මේ වන විට සංරක්ෂිත අනුරූ යටතේ ස්ථාපිත කර ඇති අවි ආයුධවල ලේඛනගත තොරතුරු ඇතුළත් වේ.
අනුරූ වර්ග 1 සහ 2 යටතේ ස්ථාපිත කර ඇති අවි ආයුධ ලී ගැරිසන් රථයේ සවිකළ ලන්දේසි අඟල් 18 ක පවුම් යකඩ කාලතුවක්කුවක අනුරුව, අනුරූ වර්ග 03 ලී ගැරිසන් රථයේ පෘතුගීසින් විසින් සවිකළ අඟල් 07 ක්‍රමාංකන ලෝකඩ කාලතුවක්කු අනුරුව, අනුරූ වර්ග 04 වාත්තු ගැල් රථයක් මත පිහිටවනු ලැබූ බ්‍රිතාන්‍ය පවුම් 12 ක වාත්තු යකඩ කාලතුවක්කුවක අනුරුව, අනුරූ වර්ග 05 වාත්තු ගැල් රථයක් මත පිහිටුවනු ලැබූ බ්‍රිතාන්‍ය පවුම් 24 ක කාලතුවක්කුවක අනුරුව, අනුරූ වර්ග 06 ලීයෙන් සාදනු ලැබූ ගමන් කරත්තයක සවිකළ බ්‍රිතාන්‍ය පවුම් 06 වාත්තු යකඩ කාලතුවක්කුවක අනුරුව, අනුරූ වර්ග 07 ලීවලින් සෑදූ ගමන් කරත්තයක සවි කළ බ්‍රිතාන්‍ය පවුම් 32 ක වාත්තු යකඩ කරත්තයක අනුරුව, අනුරූ වර්ග 08 ලීයෙන් නිමකළ ගමන් කරත්තයක සවි කළ 35 ක් Cwt බ්‍රිතාන්‍ය ආම්ස්ට්‍රෝං පවුම් 40 ක RBL තුවක්කුවක අනුරුව, අනුරූ වර්ග 09 ඉදිරිපස ගමන් ආම්පන්න සහිත වානේ ට්රැවර්සිං වේදිකාවක් මත සවි කළ ටොන් 12 ක බ්‍රිතාන්‍ය Wrought Iron අඟල් 09 RML තුවක්කුවේ මාර්ක් (v) අනුරුව, අනුරූ වර්ග 10 වානේ ට්රැවර්සිං වේදිකාවක් මත සවි කළ බ්‍රිතාන්‍ය වින්‍යාස යකඩ අඟල් 6,3 ක පවුම් 64, ඍඊඛ තුවක්කුව 64 RBL (මාර්ක් III).
මෙම අවි ආයුධ, ගාලු කොටුවේ ඓතිහාසික කාලතුවක්කු අධීක්ෂණ මැදිරි සහ ආශ්රිත උපාංගවල අනුරූ සකස් කිරීම සහ ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජනතාවට නැරඹීම සඳහා ස්ථානගත කර ඇත.
ස්ථානගත කළ මෙම අනුරූ සියල්ල පැරණි පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය යුගවලට අයත් වන අවි ආයුධයි. එම අවි ආයුධවල අනුරූ සෑදීම සඳහා Fiber” Resin සහ ඩොලමයිට් වැනි අමුද්‍රව්‍ය නියමිත සංයෝගවලට අනුව යොදාගෙන තිබේ.
කොටස් 02 ව්‍යාපෘතිය යටතේ ගාලු කොටුව භූමි පරිශ්‍රය තුළ ඇවිදීමේ මංතීරු මීටර් 2,000 ක දුරක් වන සේ අලුතින් ගොඩනඟා සකස්කර තිබේ. ඒ සම්පූර්ණ කොටු පරිශ්‍ර භූමිය ආවරණය කරමිනි.
මෙයට අමතරව භූමියේ වර්ග මීටර් 40,000 ක් අලංකරණය කිරීම ද කර තිබේ. ඒ භූමි අලංකරණ ව්‍යාපෘතිය යටතේය. මෙම භූමි අලංකරණය තුළ කොටුව ප්‍රදේශයට උරුම සහ මෙතෙක් භාවිතයේ පැවති ශිල්පීය ක්‍රම සහ සම්ප්‍රදායන් නොබිඳී ආරක්ෂා කර තිබීම විශේෂිත කාරණයක් ලෙස දැක්වේ.
විදුලි අලංකරණය කිරීම ද ඒ ඒ ස්ථානවලට ආශ්රිත විශේෂ ලක්ෂණ අනුව සිදු කර තිබේ. ඒ අනුව ඇවිදීමේ මංතීරු, බංකර්, පතුරම් ගබඩා වැනි ස්ථානවල පවත්නා සුවිශේෂී ලක්ෂණවලට ගැලපෙන විදුලි ආලෝකකරණය කිරීමෙනුයි.
මෙහි සිදුකළ තවත් විශේෂ ආලෝකකරණයක් වනුයේ කොටුවේ ඉදිරිපස පවුර සහ එහි ඇති පැරණි ඔරලෝසු කණුව Flash Light යොදා ආලෝකකරණය කිරීමයි. මෙම ආලෝකකරණයේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණය වනුයේ කොටු පවුරේ පෞරාණිකත්වයට හානි නොවන ආකාරයේ අලෝකකරණයත් භාවිතා කර තිබීමයි.
කොටු පවුරේ සියලු ඉදිකිරීම් සඳහා පුහුණු ශිල්පීන් සහභාගී කර ගැනීම විශේෂයි. එයට අමතරව පුහුණු ශිල්පීන් පුහුණු කර සහභාගී කර ගැනීම විශේෂ කාරණයක් සේ දැක්විය හැකියි.
මෙහි සිදුකරන ලද සියලු සංරක්ෂණයන් සංරක්ෂණ ක්ෂේත්රයේ ප්‍රවීනයන් විසින් සිදු කර තිබේ. ඒ යටතේ සංරක්ෂණ විශේෂඥයින්, වරලත් ඉංජිනේරුවන් සහභාගී වී ඇත. ඒ යටතේ කළ සෑම සංරක්ෂණයක්ම සහ ප්රතිසංවර්ධනයක්ම පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම හදාරා ඒ අනුව සිදු කර තිබීම විශේෂ කාරණයකි. මෙම ක්‍රියාදාමය සඳහා ඉංග්‍රීසි, ඕලන්ද, බ්‍රිතාන්‍ය රටවල අදාල විශේෂඥයින්ගේ උපදෙස් සහ පැරණි ශිල්පීය ක්‍රම අමුද්‍රව්‍ය වර්ග පිළිබඳ මූලාශ්‍ර හදාරා තිබීමත් මෙහිලා විශේෂත්වයකි.
තවද සිමෙන්ති වැනි අමුද්‍රව්‍ය භාවිතා නොකර, පැරණි කාලයේ භාවිතා කළ කළුගල්, ටෙරාකොටා, හුණු, උළු කුඩු, ලාම්පු දැලි යොදාගෙන තිබේ.
2019 ජනවාරි 24 වැනි වැඩ අරඹා 2021 දෙසැම්බර් 15 වන දිනෙන් අවසන් කළ මෙම ව්‍යාපෘතියේ වටිනාකම වූයේ රුපියල් මිලියන 210 ක මුදලකි.
රෑම්පාට් කොටස් 02 ව්‍යාපෘතියෙහි වටිනාකම රුපියල් මිලියන 442 කි. 2019 අගෝස්තු 16 වැනි දින වැඩ ඇරඹූ මෙම ව්‍යාපෘතිය 2021 දෙසැම්බර් 31 වන දින වැඩ අවසන් කර තිබේ.
ගාලු කොටුවේ ඓතිහාසික කාලතුවක්කු අධික්ෂණ මැදිරි සහ ආශ්රිත උපාංගවල අනුරූ සකස් කර ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා පිරිවැය ලෙස රුපියල් මිලියන 27.5 ක මුදලක් වැය වී තිබේ. 2021 ජුනි මස 01 වන දින වැඩ අරඹා 2021 දෙසැම්බර් මස 31 වන දින වැඩ අවසන් කර ඇත.
නව ප්‍රතිසංකරණ සහ වැඩි දියුණු කිරීම්වලට පෙර පැවති තත්වය යටතේ තිබූ ගාලු කොටුවට වඩා සෑම අතකින්ම පිරිපුන් බවක් ගොඩනැගූ මෙම ගාලු කොටුව තුළ වෙනස්ව තිබීම මහත් සතුටක් බව පවසන සංචාරකයන්, එම වෙනස ප්‍රීතිමත් ජීවිතයකට මග පාදන බව ද කියා සිටියි. විශේෂයෙන් ම මෙම ප්‍රතිසංස්කරණ මඟින් ගාල්ල කොටුවෙහි ලෝක උරුමය ආරක්ෂා කිරීම ගැන දෙස්, විදෙස් සංචාරකයෝ සිය ප්‍රසාදය පළ කරති.
වර්තමානයේදී එවන් යහපත් අංගයන් ගෙන දෙන ගාලු කොටුව වර්ෂ 1588 දී ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසි හමුදාව ආරක්ෂිත බලකොටුවක් ලෙස ගොඩනගා තිබේ. මෙම බලකොටුව වර්ෂ 1649 දී ලංකාව ආක්‍රමණය කළ ලන්දේසී හමුදාව විසින් අත්පත් කරගැනීමෙන් පසු තවදුරටත් පුළුල් කර තිබේ.
එතැන් සිට ලන්දේසි බලකොටුව ලෙසත් ගාල්ලේ බලකොටුව ලෙසත් හැඳින්වූ ගාලු කොටුව, ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන විට යටත් විජිත යුග තුනක් ගෙවා අවසන් කර තිබේ.
පුරාණ ගාලු කොටුව ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ වාස්තු විද්‍යාත්මක උරුමයන්ට හිමිකම් කියන ජාතික උරුමයක් බවට මේ වන විට පත්ව තිබේ.
ගාලු කොටුව ශ්‍රී ලංකාව පාලනයට නතු වූ දින සිට, වර්තමානය දක්වා නොවෙනස්ව පවතින සුවිශේෂී ලක්ෂණයකින් පොහොසත්ව පවතියි. එනම්, ගාලු කොටුවට අදාළ වූ වර්ණවත් ඉතිහාසය ජීවමාන කරමින් බහු ආගමික, බහු වාර්ගික ජනගහණයක් කොටුව තුළ සාමකාමී සහජීවනයෙන් ජිවත් වීමයි. එම ජන කොටස් පරම්පරාවෙන් උරුම වූ සහ පසු කාලීනව අත්පත් කරගත් දේපලවල නිත්‍ය හිමිකරුවන් බවට මේ වන විට පත්ව සිටියි.
මෙම පොදු විවේකී පරිසර කළාපය, කරදිය මුසු සුළඟට ඔරොත්තු දෙන, ගාලු කොටුවේ පරිසරයට ගැලපෙන ආගන්තුක නොවන ගස් වර්ගවලින් සමන්විත උද්‍යානයකි.
විවේකී සුවයෙන් ගතකිරීම සඳහා නිමවා ඇති ගල් බංකු මෙහි පරිසරයට බද්ධ වන ආකාරයට සහ පෞද්ගලික සහ පොදු අනන්‍යතාව රැකෙන ආකාරයට තබා තිබේ.
උද්‍යානයේ භූමි අලංකරණය සඳහා නව ආරක රටාවකට අනුව යමින් සිමෙන්ති මිශ්‍රණය සහ තණකොළ යොදා උද්‍යාන භූමියේ කොටස් ආවරණය කර තිබේ.
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සමඟ ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු, නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් අධ්යක්ෂ අනුර මැදවල, නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ (උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ) කැළුම් සිරිවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පීනි ද්‍රෞපදී දහනායක, ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක, ගාලු උරුමය පදනමේ ව්‍යාපෘති නිලධාරී තරංග ලියනාරච්චි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළාප නිලධාරි සාරංග වරුෂවිතාන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.