ජාතික රෝහලට අති නවීන තාක්ෂණයෙන් යුත් CT Scan (128-Slice) යන්ත්‍රයක්

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan)යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීම ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

රුපියල් මිලියන 220 ක වටිනාකමකින් යුත් මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රය සදහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය හරහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දී ඇත.

මෙම 128-Slice CT Scan යන්ත්‍රය මගින් වේගවත්, ආරක්ෂිත වඩාත් නිවැරදි රෝග විනිශ්චය ලබාදෙන අතර, මෙමගින් පටක අතර වෙනස හඳුනා ගැනීමට සහ රෝගය තීරණය පහසු කිරීමට අවශ්‍ය රෝග විනිශ්චය දත්ත සපයයි. රෝගියාගේ අපහසුතාවයන් සහ විකිරණ නිරාවරණය අවම කරන අතරම ඉහළ මට්ටමේ රෝග විනිශ්චය නිරවද්‍යතාවයක් සහ කාර්යක්ෂමතාවයක් ද මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රය මගින් ලබාදෙයි.

රිය අනතුරු, පහරදීම්, වැටීම් නිසා මොලයට හා සුසුම්නාවට හානි සිදු වු රෝගීන්ට, මොළයේ ගැටිති, මොළයේ පිළිකා, මොළයේ සිදුවන ලේ ගැලීම් සදහා ශල්‍ය කර්ම සිදු කල යුතු රෝගීන්ට, රුධිර පීඩනය වැඩි රෝගීන්ගේ සිදුවන මොලයේ අභ්‍යන්තර ලේ ගැලීම් නැවැත්වීමේ ශල්‍යකර්ම සිදු කල යුතු රෝගීන්ට මෙන්ම මොලය හා සුසුම්නාව සම්බන්ධ ශල්‍යකර්ම වලට යොමු කල යුතු රෝගීන්ගේ ශල්‍යකර්මයට පෙර හා පසු රෝග තත්ත්වය විනිශ්චය කිරීමට අවශ්‍ය වාර්ථා ලබා ගැනීමට මෙම සීටී ස්කෑන් යන්ත්‍රය භාවිතා කරනු ලබයි.

ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය ශල්‍යාගාර 10 කින්, දැඩි සත්කාර ඒකක 10 කින්, අධි නිරීක්ෂණ ඒකක 02 කින් සමන්විත වන අතර, දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ධාරිතාව 200 කට අධික වන අතර, අති නවීන වෛද්‍ය උපකරණ වලින් මෙන්ම විශේෂ පුහුණුව ලත් වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල වලින් මෙම අංශය සමන්විත වේ.

මෙරට රජයේ රෝහලක ස්ථාපිත විශාලතම හා ප්‍රධානතම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය මෙය වන අතර (Helipad) හෙලිකොප්ටර් ගොඩබැමේ පහසුකම්වලින් ද මෙම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය සමන්විත වේ.

Werzuo Digital

Leave a Reply