ඊශ්‍රායල – පලස්තීනය අතර දරුණු යුද ගැටුම් – ශ්‍රි ලංකාවේ දැඩි කනස්සල්ල

ඊයේ (07) සිට ආරම්භ වු ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම්වලින් ඊශ්‍රායලට එල්ලවු හමාස් සංවිධානයේ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 250 දෙනෙකු මියගොස් ඇති අතර 1,100 කට වැඩි පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව ඊශ්‍රායල බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලය පලස්තීනයට එරෙහි ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු මේ වනවිට ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 232 දෙනෙකු මියගොස් ඇති බවත් එහිදී අවම වශයෙන් පුද්ගලයින් 1,790 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේය.

1973 වසරේ දී ඊශ්‍රායලය සහ අරාබි සංධානය අතර සිදු වූ යොම් කපූර් යුද්ධයට පසු, කලාපයේ උද්ගත වූ ප්‍රබලතම ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය කරමින් මෙම ගැටුම් හටගෙන තිබේ.

ගාසා තීරයේ පාලනය උසුලන හමාස් සංවිධානය ඊශ්‍රායල භූමියට ඇතුළු වී ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ, ඊයේ (07) අලුයම් කාලයේ සිටයි.

ඊශ්‍රායලයේ ටෙල් අවිව් ඇතුළු ප්‍රධාන නගර ඉලක්ක කළ රොකට් ප්‍රහාර 7,000ක් පමණ එල්ල කරමින් ආරම්භ වූ ප්‍රහාරය නම් කර තිබුණේ,” අල් අක්සා ප්‍රහාරය” ලෙසයි.

ඒ, පලස්තීන ජාතිකයන් ගේ ශුද්ධ දෙවොලක් වූ අල් අක්සා දේවස්ථානය ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය ක්‍රියාත්මක වීම හේතුවෙනි.

මෙසේ ඇරඹී ප්‍රහාරය යටතේ ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමෙන් රටට ඇතුළු වීමට හමාස් සටන්කරුවන් සමත් ව තිබිණි.

එහි දී ඊශ්‍රායලයේ ප්‍රබල ආරක්ෂක වළලු බිඳ හෙළීමට ඔවුන්ට හැකි වීම විශේෂත්වයකි.

මේ වනවිට ඊශ්‍රායලය තුළ ස්ථාන 22ක හමාස් සටන්කරුවන් සහ ඊශ්‍රායල හමුදා අතර ගැටුම් පවතින බව වාර්තා වේ.

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලයේ හි පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට එක් ශ්‍රී ලාංකිකයෙකු සුළු තුවාල ලබා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ටෙල් අවිව් සහ රමල්ලා හි වෙසෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර විපතට පත් ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම මෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

1967 දේශසීමා පදනම මත එක පැත්තකින් ජීවත් වන ප්‍රාන්ත දෙකක ජාත්‍යන්තරව එකඟ වූ පරාමිතීන්ට අනුකූලව සාකච්ඡාමය විසඳුමකට සහාය වීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

“ආදරණීයයන් අහිමි වූ සියලු දෙනාට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර විපතට පත් පවුල්වලට අපගේ ශෝකය ප්‍රකාශ කරන්නෙමු” යනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි

ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින අතර තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස ද සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද එහි දක්වා තිබේ.

ඇතිවූ ගැටුම් හේතුවෙන් විපතට පත්වුවන්ට සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සිය ශෝකය පළකරන බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත

මැදපෙරදිග ගිනිගනි – ඊශ්‍රායල පලස්තීන අනපේක්ෂිත යුද්ධයක්

Werzuo Digital

One thought on “ඊශ්‍රායල – පලස්තීනය අතර දරුණු යුද ගැටුම් – ශ්‍රි ලංකාවේ දැඩි කනස්සල්ල

Leave a Reply