අයිස් හා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක්, සැකකරුවන් 05 දෙනෙකු සමග මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය මඟින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට පත් වූ මෙම බහුදින ධීවර යාත්‍රාවේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 344ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 124ක පමණ තොගයක් තිබී සොයාගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය එක්ව සිදුකරනු ලැබූ සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට සිදුකර ඇති බව නාවික හමුදාව පවසයි.
මාලදියින් අනන්‍ය ආර්ථික කළාපය වෙත ‘අශේන් පුතා’ නම් IMUL –A-0924-MTR අංකය දරණ බහුදින ධීවර යාත්‍රාවක් ඇතුළුවී ඇති බවත්, එම යාත්‍රාව යම් දෝෂයක් හෝ ආපදාවක් හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයට ඇතුළු වී ඇත්ද යන්න සනාථ කරන ලෙස මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකායේ සමුද්‍රිය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවට ඊයේ අළුයම දැනුම්දීමක් සිදුකර තිබේ.
එම දැනුම්දීම අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, එම යාත්‍රාව සම්බන්ධ නාවික හමුදාව සතු තොරතුරු පරික්ෂා කර තිබේ.
නාවික හමුදාව සතු බුද්ධි තොරතුරු අනුව එම බහුදින ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යාත්‍රාවක් බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් පරිදි එම බුද්ධි තොරතුරු කඩිනමින් මාලදිවයින් වෙරළආරක්ෂක බළකාය වෙත ලබා තිබේ.
එම බුද්ධි තොරතුරු අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් එරට අනන්‍ය ආර්ථික කලාපය වෙත ඇතුලු වී තිබූ අශේන් පුතා දරණ මෙරට බහුදින යාත්‍රාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම යාත්‍රාවේ ප්‍රවාහනය කරමින් තිබු අයිස් මත්ද්‍රව්‍ය හා කොකේන් මත්ද්‍රව්‍ය තොග සොයාගැනීමට හැකිව ඇත.
ඒ අනුව එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21ත් 37ත් අතර වන දෙවිනුවර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක්ද, නැතහොත් වෙනත් කලාපීය රාජ්‍යයකට රැගෙන යන්නක්ද යන්න පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදා බුද්ධි අංශය සහ මාලදිවයින් බුද්ධි අංශය එක්ව සිදු කරණු ලබයි.