ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින් ඉරානය ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැය 24 ක් ඇතුළත ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊශ්‍රායලය ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව එම වාර්තා සඳහන් කළේය.

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වෙද්දී, ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය, එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවත්, ගුවන් කලාපය වසා දැමීමට තීරණය කළ බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

තමන් ඊශ්‍රායලයට පහර දෙන බැවින්, ඊශ්‍රායලයේ මිතුරා ඇමෙරිකාව ‘පැත්තකට වී සිටියොත් හොඳයි’ යැයි ඉරානය ඇමෙරිකාවට ද තර්ජනය කර තිබුණි.

කෙසේ වෙතත් ඉරානයේ එම තර්ජන මැද, ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස, ඇමෙරිකන් යුද නැව් ගල්ෆ් කලාපයට යැවීමට ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන තිබේ.

ඉරානය මෙසේ ඊශ්‍රායලයට පහර දීමට තීරණය කළේ, මීට දින කීපයකට පෙර, ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි ඉරනා කොන්සල් කාර්යාලය විනාශ වීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.

අදාළ ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන නායකයා ප්‍රකාශ කර තිබූ අතර ඊයේ රාත්‍රී එම ප්‍රහාරය දියත් කර ඇති බව සඳහන් වේ.

එහිදී බැලැස්ටික් මිසයිල ප්‍රහාර ද එල්ල වී ඇති බව වාර්තා වේ.

ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් ද නතර කර ඇති බව වාර්තා විය.

මෙම යුධමය තත්ත්වය පිළිබදව අමෙරිකාව ඇතුළු රටවල් රැසක අවධානය යොමුව ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් ද කැදවා තිබේ.

Werzuo Digital

Leave a Reply