ඉරානයට පහරදිමට අපේ සහාය නැහැ – ඇමෙරිකාව ඊශ්‍රායලයට කියයි

ඉරානයට පහර දීමට ඇමෙරිකාව කිසිසේත් සහාය ලබා නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දෙරටේ නායකයන් අතර විනාඩි 25 ක පමණ කාලයක් පැවැති දුරකතන සංවාදයකදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මෙම දැනුම්දීම සිදුකර ඇතැයි එම විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එහිදී ඊශ්‍රායලය මීළඟ පියවර ගැනීමට පෙර ඇමෙරිකාවේ උපදේශනය ලබා ගන්නා බවටත් හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් ලබා දෙන බවටත් සහතිකයක් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලය නැවත වරක් ඉරානයට පහර දුනහොත් කලාපීය යුද්ධයක් ඇති වී ඛේදජනක තත්ත්වයක් ඇති වේ යැයි ඇමෙරිකානු බලධාරීන් බියෙන් පසුවන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

හමාස් සංවිධානය පරාජයට පත්කර ලබාගත් ජයග්‍රහණයෙන් සෑහීමකට පත්වෙන ලෙසද එම දුරකථන සංවාදයේදී ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා ඩමස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඩ්‍රෝන සහ මිසයිල තුන් සියයකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරමින් ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය.

මේ අතර ඉරානයේ සිට ඊශ්‍රායලයට එල්ල කරන ඩ්‍රෝන යානා බිමහෙළීම සඳහා බ්‍රිතාන්‍ය ප්‍රහාරක ජෙට් යානා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් ජෙට් යානා මෙලෙස යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අදාළ ගුවන් කලාපය තුළ ආරක්ෂාව සඳහා එම ජෙට් යානා යොදවා ඇති බව බ්‍රිතාන්‍ය රජකීය හමුදාව නිවේදනය කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් ඉරානය විසින් සිදුකළ ප්‍රහාර හෙළාදැක ඇති අතර ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ඉදිරියටත් පෙනී සිටින බව සඳහන් කර ඇත.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් සහ යුරෝපා සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන රාජන්‍ තාන්ත්‍රිකයකු වන ජොසෙප් බොරෙල් පවසා ඇත්තේ ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය තමන් හෙලා දකින බවත් එය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවත්ය.

රුසියාව සහ චීනය ප්‍රහාරය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් පවසා ඇත්තේ හටගත් අර්බුදය තවත් දුරදිග යෑමට ඉඩ නොතැබීමට සියලු පාර්ශ්ව වගබලාගත යුතු බවය.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉරාන ප්‍රහාරය හෙලා දකිමින් ඊශ්‍රායලට දිගින් දිගටම සහාය දෙන බව අවධාරණය කර තිබේ.

ඊශ්‍රායලයට ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්තුමන් ද සිය කනස්සල්ල පළ කර ඇත. මැදපෙරදිග කලාපයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් විය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අවධාරණය කර තිබේ.

Werzuo Digital

Leave a Reply