ගාල්ලේ අරුම පුදුම කරාතේ පවුල

ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් ලෙස ලෝකයේ පළමුවෙන්ම ආරම්භ වු කරාතේ මේ වනවිට ජනප්‍රිය ක්‍රිඩාවක් ලෙස සංවර්ධනයවි ඇත. 
බොහෝවිට  පිරිමින් පමණක් එයට යොමුවි තිබුනද කරාතේ ක්‍රිඩාවේ යෙදෙන පවුලක්ම බද්දේගම ඉඳුරුපත්විල වැයිහේන ගම්මානයේදි Galle Times අපට හමුවිය.
මේ පවුලේ පියා සුසිල් හඳුන්නෙත්තිය. ඔහු ශ්‍රි ලංකා කරාතේ දෝ සංගමයේ දකුණු පළාත් සභාපති වන අතර ආසියානු කරාතේ විනිසුරුවරයෙකි. එයට අමතරව “නිහෝන් ෂිතෝරියෝ කරාතේ දෝ ෂොබුකායි” ජාත්‍යන්තර සංගමයේ ශ්‍රි ලංකාවේ ප්‍රධාන උපදේශක හා සභාපතිවරයාද වේ.
ඔහුගේ බිරිඳ මේෂා ප්‍රසන්තිකා මේ වනවිට තාවකාලිකව ක්‍රිඩාවෙන් සමුගෙන සිටියද දක්ෂ කරාතේ ක්‍රිඩිකාවකි. ඔවුනගේ දියණිය හංසි හඳුන්නෙත්ති දකුණු ආසියාවේ සිටින දක්ෂතම කරාතේ ක්‍රිඩිකාවක් වන අතර 2014 වසරේ ජාත්‍යන්තර කරාතේ තරගාවලියේදි  රන් පදක්කමද 2017 වසරේ රිදි පදක්කමද දිනා ගෙන ඇත. මේ වනවිට ඇය සබරගමුව විශ්ව විද්‍යාලයට ඇතුලත් විමට සුදුසුකම් ලබා සිටී.
ඔවුනගේ බාල දියණිය නිකිණි කාව්‍යා බද්දේගම 7ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර පියාගේ සහ අක්කාගේ අඩිපාරේ යන දක්ෂ කරාතේ ක්‍රිඩිකාවකි. පුතා කවිඳු නිර්මාල් ද පියාගේ අඩිපාරේ යන දක්ෂ කරාතේ ක්‍රිඩකයෙකි.
තම පවුලම කරාතේ ක්‍රිඩාවට යොමුවිම පිළිබඳ  සුසිල් තුල ඇත්තේ මහත් අභිමානයකි.
“මම මුලික අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ කුලිගොඩ ප්‍රාථමික විදුහලෙනුයි. ඊට පස්සේ උසස් අධ්‍යාපනය සඳහා මාදම්පාගම මහ විදුහලට ඇතුලත් වුනා. මම පාසල් යන කාලෙ ඉඳලම කරාටේ සටන් කලාවට ආසා කලා. එනිසාම මම කරාතේ ඉගෙන ගත්තා.ආසාවෙන් ඉගෙන ගත්ත නිසා මට දකුණු ආසියාවේ විනිසුරුවරයෙක් ලෙසටත් ජාත්‍යන්තර සංගමයේ ශ්‍රි ලංකාවේ ප්‍රධාන උපදේශක  හා සභාපති ලෙසටත් කටයුතු කරන්න ලැබුනා.”
“සමහර පවුල්වල ගැහැණු ළමයි කරාතේ ක්‍රිඩාව ඉගෙන ගන්නවට වැඩිය කැමැත්තක් නැහැ. එහෙම් හිතන එක වැරදියි. මේක ජාත්‍යන්තර ක්‍රිඩාවක් දැන් මගේ ලොකු දුව සබරගමුව විශ්ව විද්‍යාලයට ඇතුලත් විමට සුදුසුකම් ලබා සිටිනවා. විශ්ව විද්‍යාල සිසුවියක් ලෙසද  ඇය තවදුරටත් කරාතේ ක්‍රිඩාවේ යෙදෙනවා. අපි මේවා කරගෙන යනවිට නොයෙක් බොරු චෝදනා අවලාද එනවා. ඒවා සියල්ල ඉවසාගෙන ඉදිරියටම යා යුතුයි. ජයග්‍රහණය එතැනයි.“
Galle Times 
Werzuo Digital

Leave a Reply