ශ්‍රි ලංකාවට Meta සමාගමේ සහාය

Facebook, Whatsapp, Instagram, ආදී සමාජ ජාලා රැසක් හිමි ඇමරිකා බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන මෙටා (Meta)සමාගමේ සහය ගෙන ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්  ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවකදී මෙම කරුණු සාකච්ඡා විය.

මෙම සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය නව ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වා දීමට යෝජිත පනත මඟින්  ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගැනීමට බලපෑමට ලක්වූවන්ට හැකි බව ද ජනාධිපතිවරයා පැවසීය.

එසේම පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කළේය.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ ජනාධිපති ජාත්‍යන්තර කටයුතු  පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Werzuo Digital

Leave a Reply