නව තාක්ෂණය නොමැතිව කාලගුණය අනාවැකි කියලා – විගණන වාර්තාවක් හෙළි කරයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ අනාවැකි පවසන්නේ නවීන තාක්ෂණික රේඩාර් පහසුකම් නොමැතිව බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

කාලගුණ අනාවැකි කරණයේ දී ඩොප්ලර් රේඩාර් පද්ධතියක දැඩි අවශ්‍යතාවක් පැවතිය ද වර්ෂ 15 කට ආසන්න කාලයක සිට එම පද්ධතිය නොමැතිව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ විද්‍යා අනාවැකි හා පුරෝකථන ලබා දී ඇති බව ද එම විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

ඩොප්ලර් රේඩාර් පද්ධති පුත්තලම හා පොතුවිල් කාලගුණ මධ්‍යස්ථාන භූමියේ ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 513.78ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණි. එම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වී (2017 – 2021) වසර හයක් ගත වී ඇතත් රේඩාර් පද්ධතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නැත. උපකරණවල මිල ගණන් ඉහළයෑම නිසා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

2022 වර්ෂයේ මැයි මාසයේ දී ජයිකා ආයතනය විසින් රේඩාර් පද්ධති 02ක් වෙනුවට එක් පද්ධතියක් පමණක් ස්ථාපනය කිරීමට එකගතාව පළකොට ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සඳහන් කළ ද එය නිලවශයෙන් දන්වා ඇති බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවූ බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

Werzuo Digital

Leave a Reply