සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කළොත් දකුණු පළාතට විදුලි කප්පාදුවක් – විදුලි බල මණ්ඩලය

උඩවළව ජලාශයට සමනලවැවෙන් ජලය නිකුත් කළහොත්,දකුණු පළාතට පැය 3 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 

කෘෂිකර්ම අමාත්‍යංශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදී ලංකා විදුලි බල මණ්ඩලය ඒ බව ප්‍රකාශ කර ඇත.

සිය වගාව සඳහා අවශ්‍ය ජලය ලබා දෙන්නැයි ඉල්ලා මේ දිනවල පැවැත්වෙන ගොවි උද්ඝෝෂණ සැළකිල්ලට ගනිමින් අමාත්‍යවරයා එම සැකච්ඡාව කැඳවා තිබුණි. 

එහිදී සමනලවැවේ සිට උඩවලව ජලාශයට දින 10 කට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා, කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරින් සමග සාකච්ඡා කර තිබේ.

එසේ වුවහොත් පවතින ජල මට්ටම තවත් පහළ යාම හේතුවෙන් දකුණු පළාතට පැයක සිට පැය 3ක් දක්වා විදුලි කප්පාදුවක් 
කිරීමට සිදුවන බව, විදුලි බල මණ්ඩල නිලධාරීන් ප්‍රකාශ කර තිබුණි.

පවතින ජල ගැටලුව හේතුවෙන් ඉදිරි සතිය තුළ වී වගාවෙන් රුපියල් බිලියන 16.81ක සහ විදුලිබල නිෂ්පාදනය අඩාලවීමෙන් රුපියල් බිලියන 1.6ක අලාභයක් සිදුවිය හැකි බවට ගණන් බලා තිබේ. 

අමාත්‍යවරයා සඳහන් කළේ , සමස්තයක් ලෙස රුපියල් බිලියන 30 ක පමණ පාඩුවක් ඉන් සිදුවිය හැකි බවයි.

ඒ හේතුවෙන් මෙම වසරේ සහල් නිෂ්පාදනයට ද දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය

Werzuo Digital

Leave a Reply