උසස් පෙළට පෙනී ඉන්න පාසල් පැමිණීම සියයට 40ක් ප්‍රමාණවත්

2023 මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසුන් සඳහා, සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සියයට හතළිහක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

මේ වසරට පමණක් සීමා වන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර, 2020/21 වසරේ ඇති වූ කොවිඩ් තත්ත්වය හා පසුගිය වසරේ ඇති වූ තත්ත්වයන් හේතුවෙන් දරුවන්ට පාසල් යෑම නිසි ලෙස සිදු කිරීමට නොහැකි වූ හෙයින් මේ තීරණය ගත් බවද ඇමැතිවරයා පැවසීය.

පසුගිය 17 දා මීට අදාළ තීන්දුව ගත් බවත්, මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ද දැනුම්වත් කිරීමට‌ පියවර ගත් බවත් ඇමතිවරයා පැවසීය.

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (20) වි‌ශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේ මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

එහෙත් මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා දෙවන වර, තෙවන වර හෝ තවත් වෙනත් අවස්ථාවක් වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් හට පසුගිය වසරේ අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව අවස්ථාව සලසා දෙන බවද ඇමතිවරයා සඳහන් කළේය

Werzuo Digital

Leave a Reply