ගාල්ලේ වයස්ගතම පුරවැසියා අවුරුදු 107දී දිවි සැරිය නිමා කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ වයස්ගතම ජේෂ්ඨ පුරවැසියා වු තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඪාශයේ පනංගල විසූ උපසේන ගොවි මහතා අද (19) පෙරවරුවේ අවුරුදු 107ක් ආයු වළදා අභාවප්‍රාප්ත වුනා.

කෝරළේගම පතිරණගේ උපසේන මහතා 1916 මාර්තු මස 14 දින තවලම කෝරළේගමදී උපත ලබා ඇති අතර ඒ මහතාගේ හැදුනුම්පතේ උපන් දිනය ලෙස 1916.03.14 ලෙස සටහන්ව තිබිණි.   

දූ දරුවන් 09 දෙනෙකු පියෙකු වන ඔහු මුණුබුරු මිණිපිරියන් ඇතුළු පරම්පරාවේ සාමාජිකයන් 90 කට ආසන්න පිරිසක් ජිවත් ව සිටියදිම දැක ගැනිමට හැකි වු වාසනාවන්ත වු අතර දක්ෂ ගොවි මහතෙකුද වෙයි

ඒ මහතා ගල්ලලන්ද ග්‍රාම නිලධාරි වසමේ පලමු පුරවැසියාද වෙයි. ඒ මහතාගේ ආදරණීය බිරිඳද ජීවතුන් අතර සිටින අතර ඇයද මේ වන විට 103 වැනි වියෙහි පසුවෙයි.

ඉකුත් දා පැවති ලෝක වැඩිහිටි දිනයේ දී ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් උපසේන මහතාට උපහාරයක් ද පිරිනමනු ලැබිය.

උපසේන මහතා පිළිබඳව ජාතික පුවත්පතක පලව තිබු විශේෂාංගයකදි ඔහු දැක්වු අදහස්

‘‘සුද්දන්ගෙන් නිදහස ලැබුණට පස්සේ සුද්දෝ මේ ප්‍රදේශවල තිබුණු තේ වතු දාල යන්න ගියා. ඒ කාලේ මේ ගම්මානවලට එන්න පාරවල් තිබුණෙ නෑ. ගිංතොට ඉඳල ගිං ගඟ දිගේ පාරුවලින් තමයි භාණ්ඩ ප්‍රවාහනය කළේ. අපි පාරුවෙන් යන මුදලාලිට අපට අවශ්‍ය කළමනා ලැයිස්තුවක් දෙනවා. සීනි පරිප්පු, හාල්, කරවල හැම දෙයක්ම පාරුවෙන් අපට ගෙනත් දෙනවා. පාරුව නතර කරන්නේ තොටුපොළවල්වල. අපි තොටුපොළට ගිහින් ඒව ගන්නවා’’   

මං පනංගල මහාබෝධි විදුහලෙන් දෙකේ කැලෑසිය වෙනතුරු පමණයි ඉහත ගත්තේ. ඊට පස්සේ අකුරු සාස්තරේ දැන ගත්තේ පංසලේ හාමුදුරුවන්ගෙන්. ඒ කාලේ මං අල බතල, අමු, මෙනේරි, කුරක්කන්, මිරිස් තිබෙන හේනක් වවල තිබුණා. ලොරියක් පුරවන්න තරමට අල බතල එක මුරේකට ගලවනවා. ඉස්සර කාටවත් තේ තිබුණේ නෑ. ලොකු තේ වතු විතරයි තිබුණේ. ඒව පාලනය කෙරුවෙත් සුද්දෝ’’   


උපසේන මහතාගේ උපන්ගම තවලම කෝරළේගම ගම්මානයයි. ඔහුගේ බිරිඳ එම්.ජී. සෝමාවතී මහත්මිය උපත ලබා ඇත්තේ නෙළුව ඇඹලගෙදර ගම්මානයේය. යෝජිත විවාහයකින් යුග දිවිය අරඹා ඇති උපසේන මහතා ඒ අතීතයද සිහිපත් කිරීමට අමතක නොකරයි.   


‘‘ඒ කාලේ මාර්ග පහසුකම් නෑ. ගිං ගඟ දිගේ ගං ඉවුරෙන් අඩිපාරවල් තමයි තිබුණේ. කෝරළේගම ඉඳල මං නෙළුවට ගියේ පයින්. අපි තවලමදී කසාද බැඳල මේ ගෙදරට ආවෙත් පයින්. ඒ කාලේ පයින් යන අයට මහන්සියට නතර වෙන්න තවලම අම්බලමක් තිබුණා. අදත් ඒක තියෙනවා. පිපාසෙට වතුර බොන්න පිංතාලි මග තිබුණා.’’   


ගිංගඟ පිටාර ගැලීම නිසා ගංවතුර තර්ජන ඇතිවීම ද ඈත අතීතයේ සිටම තවලම අවට ප්‍රදේශවල ජනතාවට මහත් හිංසනයක් වූ බව උපසේන මහතා සිහිපත් කරයි

‘‘1940 තමයි මට මතක කාලේ මුල්ම ගංවතුර ගැලුවේ. මිනිසුන්ට ඒකාලේ තිබුණේ කටුමැටි ගෙවල්. වහල සෙවිලි කළේ පොල් අතුවලින්. ගොඩක් ගෙවල් පාවුණා. හරක් පට්ටි පිටින් ගඟේ ගියා. ඊට පස්සේ 1944 ඒ වගේම ගංවතුරක් ආවා. පසුගිය 2003 ගලපු ගංවතුර තමයි මේ පැත්තට ආපු ලොකුම ගංවතුර.”  

උපසේන මහතා ගොවිතැනට අමතරව පැණි නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයටද හපනෙකි. අද වයසත් සමග එම වෘත්තීන්හි යෙදීමට වරම් නැති වුවද අතීත කෙරුවාවල් සිහිපත් කිරීමට ඔහුට ඇත්තේ මහත් උනන්දුවකි.   

‘‘ඒ කාලේ පැණි උණුකරගන්න බැරුව මං තෙලිජ්ජ මුට්ටි පිටින් බිමට හලනවා. ඒ තරමට කිතුල් මැද්දා. ඕනෑතරම් රා තිබුණා. සමහර කොලු කුරුට්ටෝ මගේ කිතුල් මල්වලින් තෙලිජ්ජ බේරෙනකොට බිම ඉඳන් කට අල්ලනවා. මුට්ටිය උතුරල වැක්කෙරෙනවා’’  

‘‘මට ලොකුවට අසනීපයක් නෑ. තවම උදැල්ලේ වැඩ පුළුවන්. මං මේ අත් දෙකෙන් කරපු හරිය මදි නෑ. වස විස කෑවේ නෑ. මොන ප්‍රශ්නය තිබුණත් දරුවන්ට පොත පත අරගෙන දුන්නා. හොරකම වංචාව කළේ නෑ. අද හැම තැනම වංචාකාරයො. කන තරමක් කන්නෙ වස.’’  

Werzuo Digital

Leave a Reply