දියවැඩියාව පාලනය කරන නව ඖෂධයක් ශ්‍රි ලංකාවේ වෛද්‍ය පර්යේෂකයන් සොයා ගනී (VIDEO)

රුධිරයේ සීනි මට්ටම අඩුකරන නව ඖෂධයක් සොයා ගැනීමට රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව සිටියි. ඔවුන් මේ බව ප්‍රකාශ කලේ එම ඖෂධය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (20) දහවල් කරාපිටියේ පිහිටි රුහුණ ‍විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දී පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ය

කෝවක්කා පැලෑටියේ රසායනිකයන් පිළිබඳ දීර්ඝකාලයක් කරන ලද අධ්‍යයනයකින් පසු මෙම ඖෂධය නිපදවීමට හැකි වූ බව පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී, වෛද්‍ය පීඨයේ ජෛව රසායන විද්‍යා අංශයේ මහාචාර්ය අනෝජා අත්තනායක මහත්මිය පවසයි.

මහාචාර්ය ආනෝජා අත්තනායක මහත්මිය, වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ කායික විද්‍යා මහාචාර්ය තිලක් වීරරත්න, ජෛව රසායන විද්‍යා අංශයේ මහාචාර්ය කමනි ජයතිලක මහත්මිය, ආචාර්ය පියුමි වාසනා මහත්මිය යන කණ්ඩායම මෙම පර්යේෂණය සිදුකර තිබේ.

කෝවක්කා ශාඛයේ රසායනිකයන් මගින් රුධිරගත සීනි අඩුකිරීමේ හැකියාව පිළිබඳ පර්යේෂණයක් කිරීම සඳහා 2017 වර්ෂයේ දී ජාතික පර්යේෂණ ආයතනයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට රුපියල් ලක්ෂ 47ක අරමුදල් ලැබීමෙන් මෙම පර්යේෂණය ආරම්භ කර තිබේ.

පර්යේෂණයේ ප්‍රතිඵල අනුව කෝවක්කා ශාක පත්‍රයේ රසායනිකයන් රුධිරගත සීනි අඩුකිරීමට සමත්වන බව තහවුරු කරගත් පර්යේෂකයෝ එමගින් ඖෂධීය කරලක් නිපදවා ඇත. ඉන්පසු රසායනික ප්‍රේරිත සතුන් යොදා එහි පළමු අදියරේ පර්යේෂණ සිදුකර නියමිත මාත්‍රාව විශ්ලේෂණය කළ බව පර්යේෂක කණ්ඩායම පවසයි.

ඉන් පසු මෙම ඖෂධය සායනික පර්යේෂණ සඳහා යොමුකර ඇත.

මහාචාර්ය තිලක් වීරරත්නගේ අධීක්ෂණයෙන් අලුති හඳුනාගත් දියවැඩියා රෝගීන් 158 දෙනකු යොදා සායනික පරීක්ෂණ සිදුකර තිබේ.

මෙම නව ඖෂධය භාවිතයෙන් කිසිදු පුද්ගලයකුට අහිතකර තත්වයක් ඇති නොවන බවත් මිනිස් රුධිරයේ ඇති අහිතකර මේද තත්වයත් අඩුකරන්නට මේ නව ඖෂධය සමත්වන බවත් අපිට මාස තුනක සායනික පරීක්ෂණවලින් තහවුරු කරගත හැකි වු බව මහාචාර්යවරයා පැවැසීය.

සායනික පර්යේෂණ ද සාර්ථක වූ පසු ඒ පිළිබඳ පර්යේෂණ වාර්තාව ඉහළ ශ්‍රේණිගත කිරිම් සහිත Phytomedicine ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත. එය ලෝකයේ ඉහළ පිළිගැනීමකට ලක් වූ වෛද්‍ය පර්යේෂණ පිළිබඳ පර්යේෂණාත්මක තොරතුරු ප්‍රකාශයට පත්කරන සඟරාවකි.

මීට අමරතව පර්යේෂක කණ්ඩායම විසින් තමන් නිපදවූ නව ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රයක් ද ලබාගෙන තිබේ.

ආචාර්ය උපාධි අපේක්ෂිකාවක ලෙස පර්යේෂණයට දායක වූ පියුමි වාසනා මහත්මිය පවසන්නේ කෝවක්කා පත්‍රයේ ඇති රසායනිකයන් හඳුනාගෙන ඒවා සුදුසු පරිදි නිස්සාරණය කර අදාල පර්යේෂණ සිදුකරමින් ඖෂධය නිපදවූ බවත් දැනටමත් හිමිව ඇති ජාත්‍යන්තර පිළිගැනීම සහ පේටන්ට් බලපත්‍රයෙන් ලැබී ඇති අයිතිය අනුව රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මැදිහත් වී‍ මෙම ඖෂධය ඉදිරියේ දී වාණිජ වශයෙන් නිපදවීමට කටයුතු කරන බව ද ඇය කියා සිටියාය.

මෙහි දී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායම කියා සිටියේ කෝවක්කා පත්‍රයේ රසායනිකයන් හඳුනාගෙන වෛද්‍ය පර්යේෂණ මගින් ඖෂධයක් නිපදවා ඇතත් කෝවක්කා පැලෑටිය අසාමාන්‍ය ලෙස ආහාරයට නොගන්නා ලෙස තමන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

එම ශාකයේ රසායනිකයන්ගෙන් රුධිරයේ සීනි මට්ටම අඩුකළ හැකි වුව ද එය හිතුමතයේ නිසි වෛද්‍ය උපදෙස් නොමැතිව ආහාරයට ගැනීම මිනිස් සිරුරට හානිකර විය හැකි බව ද ඇය පෙන්වා දෙයි.

මෙහිදී පර්යේෂණ කණ්ඩායම වැඩිදුරටත් කියා සිටියේ වෛද්‍ය නිර්දේශ නැතිව කෝවක්කා දිනපතා අධික ලෙස ‍ආහාරයට නොගත යුතු බවය

මෙම සාකච්ඡාව සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා සහ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි මහත්වරු ද සහභාගී වූහ

Werzuo Digital

2 thoughts on “දියවැඩියාව පාලනය කරන නව ඖෂධයක් ශ්‍රි ලංකාවේ වෛද්‍ය පර්යේෂකයන් සොයා ගනී (VIDEO)

Leave a Reply