නාච්චදුව, හිදෝගම කලුවිල සේන මහා විදුහලේ විභාග ශාලාවේදී විභාග අපේක්ෂිකාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විභාග නිරීක්ෂකවරයකු ජුනි මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
මෙසේ රිමාන්ඩ් කරන ලද්දේ නාච්චදුව නව නගරය පදිංචි ගුරුවරයෙකි.
ඉතිහාසය විෂය පැවැති 25 වැනිදා මෙම අතවරය සිදුව ඇති අතර අතවරයට ලක් වූ දැරියට විභාගයේදී උපකාර කරන බව පවසා විභාගය ලියමින් සිටියදී මෙම අතවරය සිදුව තිබේ.
සිසුවිය මෙම සිද්ධිය එදිනම ගුරුවරියකට පැමිණිලි කර ඇති අතර තම වැඩිහිටියන් සමග ගොස් 26 වැනිදා හිදෝගම පොලිසියට පැමිණිලි කළ පසු අදාළ නිරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී.
මෙම සිසුවිය උසස් පෙළ අධ්‍යාපනය ලබන අතර සාමාන්‍ය පෙළ අසමත් විෂයයන් සඳහා මෙවර විභාගයට පෙනී සිට ඇති බව පරීක්‍ෂණ මෙහෙය වූ හිදෝගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති සුනිල් ශාන්ත මහතා ‘මව්බිම’ට පැවසීය.
ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.
මව්බිම