අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවත් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මෙම මස 23 (සඳුදා) දින සිට ජුනි 01 වන දා දක්වා පැවැත්වීමට අවශ්‍ය සියල්ල සුදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි ධර්මසේන මහතා පවසයි.
කොමසාරිස්වරයා මේ බව පැවසූයේ අද (18) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරු දෙගුරුන් දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
පාසල් අයැදුම්කරුවන් 407129 ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 110367 ක් ඇතුළු සමස්ත අයැදුම්කරුවන් 517496 ක් මෙවර විභාගයට පෙනී සිටිති. විභාග මධ්‍යස්ථාන 3844ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 ක් පිහිටුවා ඇත.
විභාගයට අවශ්‍ය කඩදාසි ඇතුළු වෙනත් ද්‍රව්‍ය දැනටමත් විභාග මධ්‍යස්ථාන වෙත යැවෙමින් ඇති අතර ප්‍රශ්න පත්‍ර ඉදිරියේදී යැවේ. විභාග ප්‍රවේශ පත්‍ර සියල්ල දැනටමත් නිකුත් කර ඇති අතර පාසල් අයැදුම්කරුවන්ට ප්‍රවේශ පත්‍රය පාසලෙන් ලබා ගත හැක. පෞද්ගලික අයැදුම්කරුවන්ට ප්‍රවේශ පත්‍රය ප්‍රමාද නම් එය අදාළ දත්ත ඇතුලත් කොට අධ්‍යාපන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් බාගත කර ගත හැක. විභාගය වෙනුවෙන් පැවැත්වෙන දේශන හා උපකාරක පන්ති ලබන 20 වන දා මධ්‍යම රාත්‍රී 12න් අවසන් කල යුතුය.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 590 ක් මෙවර අයැදුම් කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසේ.
ඉන්ධන හිඟතාවය නිසා ප්‍රවාහනයට බාධා ඇතත් විභාගය දිනවල අවහිරතාවයකින් තොරව සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට සිසු සැරිය හා අතිරේක බස් යෙදවීමට ලංකා ගමන ගමන මණ්ඩලය තීරණය කර ඇත.
සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට සහ ඒමට සාමාන්‍ය දුම්රිය සේවා ද ක්‍රියාත්මක කෙරේ.
විභාගය බාධාවකින් තොරව ආරක්ෂාකාරීව පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, පොලීසියේ හා ත්‍රිවිධ හමුදා සහය ලබා ගැනේ.