මල්වානේ නිවසක සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මරුට

මල්වාන, යටියන ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවූ නිවෙස් හිමියා සහ එම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණි 51 හැවිරිදි පුද්ගලයෙකි.

ප්‍රථමයෙන් එම සේවකයා අදාළ නිවසේ අප ජලය බැහැරකිරීම සඳහා තැනූ වළක් තුළට බැස ඇත. එහිදී එම සේවකයා වළ තුළ සිහිසුන් වී ඇති අතර ඔහුව ගොඩගැනීමට වළ තුලට බැස ඇති තවත් පුද්ගලයෙකුද එහි සිහිසුන් වී ඇති බව අනාවරණය වී තිබේ.

පසුව ඔවුන් බේරාගැනීම සඳහා නිවෙස් හිමියාද වළ තුළට බැස ඇති අතර ඔහුද එතුළ සිහිසුන්ව ඇද වැටී ඇත. වළ තුළ සිටින පුද්ගලයන් බේරාගැනීම තවත් දෙදෙනෙකු පසුව එතුළට බැස ඇති අතර ඔවුන් දෙදෙනාද එහි සිහිසුන් වී තිබේ.මේ අනුව වළතුළ පුද්ගලයන් පස්දෙනෙකු සිහිසුන්ව සිටියදී ඔක්සිජන් ශ්වසන ආධාරකයක් රැගෙන වළ තුළට පිවිසි අයෙකු මොවුන් බේරාගෙන තිබේ.

පසුව සිහිසුන් වූ පුද්ගලයන් රාගම රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එහිදී නිවෙස් හිමියා සහ ප්‍රථමයෙන් වළට බසින ලද සේවකයා ජීවිතක්ෂයට පත්ව ඇත. බරපතළ තත්ත්වයේ පසුවන තවත් දෙදෙනකු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Werzuo Digital

Leave a Reply