හැකි ඉක්මනින් අන්තර්වාර පාලනයට යන්න – ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය

රට ස්ථාවර කිරීම හැකි ඉක්මනින් කළ යුතු බැවින් සියලු දෙනා පිළිගන්නා අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී රජයෙන් ඉල්ලා සිටියේය. නායකත්වයක් නොමැතිව නැඟිටීමක් සිදුවෙමින් පවතින බවත් ඒ තුළින් දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකි බැවින් මේ ඉල්ලීම කරන බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වැඩබලන සභාපති රංජිත් ආරියරත්න එම මාධ්‍ය හමුව අමතමින් පැවැසීය.

රට ගැන සිතා පත් කළ මන්ත්‍රිවරුන් අඩියක් ආපස්සට ගත යුතු බවත් ඒ අය වෙනුවට ප්‍රායෝගික දැනුම ඇති බුද්ධිමතුන් පත් කර ප්‍රතිපත්ති සම්පාදනයට සැලසුම් සකස් කළ යුතු බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. පරිපාලන සේවාවේ ඉහළ තනතුරුවලට පත්කර ඇති හමුදා නිලධාරීන්ද විශ්‍රාමික නිලධාරීන්ද ඉවත් කොට දක්‍ෂ බුද්ධිමත් නිලධාරීන් පිරිසක් ඒ තැන්වලට පත් කරන ලෙස සංගමය යෝජනා කරන්නේ යැයිද ආරියරත්න මහතා කීය.

පරිපාලන සේවාවට සම්බන්ධ නිලධාරීන් සිටිය යුතු තැන්වලට පත් කර ඇති හමුදා නිලධාරීන් දැනටමත් ඔවුන්ගේ නොහැකියාව ඔප්පු කර ඇතැයි ඔහු සඳහන් කළේය.

උද්ගතවී ඇති අර්බුදයෙන් වඩාත්ම පීඩාවට පත් වන්නේ දිළිඳු ජනතාව බවත් ඒ නිසා පළපුරුදු හා අත්දැකීම් බහුල නිලධාරියකු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා වශයෙන් පත් කර ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයට යෝජනා කළ බවද පරිපාලන සේවා සංගම් සභාපතිවරයා කියා සිටියේය.

මාධ්‍ය හමුවේදී රංජිත් ආරියරත්න මහතා මෙසේද කීය.

“මේ ආණ්ඩුව 2/3ට වඩා බලය ඇති ස්ථාවර ආණ්ඩුවක් හැටියට බිහිවුණේ. ප්‍රතිපත්ති සම්පාදනය කර රජයට ඉදිරිපත් කරන්න කටයුතු කළා. නමුත් ස්වාභාවික ව්‍යසන වගේම රජයේ ආර්ථික හා සමාජීය ප්‍රතිපත්තිවල දුර්වලකම් මතු වුණා. ඒකට රාජ්‍ය තන්ත්‍රය වගේම පරිපාලන සේවයේ අපිත් වගකිව යුතුයි.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම හේතුවෙන් සංවර්ධන සභා ක්‍රමය ඇවිත් දිස්ත්‍රික් මට්ටමින් දේශපාලනඥයන්ට බලය පැවැරීමත් සමඟ නිලධාරීන්ට තීන්දු තීරණ ගැනීමේ නිදහස අහිමිව ගියා.

තීන්දු ගත්තේ දේශපාලකයන්. ඔවුන් ව්‍යවස්ථාදායකයේ ඔවුන්ගේ බලය වැඩිකර ගත්තා. සිවිල් සේවාවෙන් බැහැර පුද්ගලයන් තනතුරුවලට පත්කර ගත්තා. එයින් විධායකය හා රාජ්‍ය සේවය අතර පරතරයක් ඇති වුණා. සම්බන්ධීකරණයේ අඩුවීමක්ද වුණා.

රාජ්‍ය නිලධාරීන් පත් කිරීමේදී අද බරපතළ කතිකාවක් ඇතිවී තිබෙනවා. ඒ වගේම ආයතන බිහිකිරීමේදී එකම විෂයට අදාළ ආයතන ගණනාවක් බිහිවූ අවස්ථා තිබෙනවා. බරපතළ විදිහේ වියදම් මාර්ග හදාගෙන තිබෙනවා.

ආණ්ඩුව ගත් ක්‍ෂණික තීන්දු තීරණත් ගැටලුකාරී වුණා. උදාහරණ ලෙස හදිසි නීතිය හා ඇඳිරි නීතිය පැනවීම, ‘සමාජ මාධ්‍ය තහනම’ පෙන්වා දිය හැකියි.

මහජනතාව වැඩ කරන්න සූදානම්. නමුත් ඒ වෙනුවෙන් විශ්වාසය ගොඩනැඟිය යුතුයි. විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය ගැන විශ්වාසය තහවුරු කළ යුතුයි. මුදල් මණ්ඩලය පිහිටුවීමද කළ යුතුයි.

අපි වර්ජනවලට ගිහින් රජයට දන්නන්න උත්සාහ කළ යුතු නැහැ. මොකද මේ වෙනකොට ජනතාව ඕනෑවටත් වඩා ඔවුන්ට දන්නලා තියෙන්නේ” යැයිද ආරියරත්න මහතා කීය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ උප සභාපතිවරුන් වන චන්ද්‍රරත්න පල්ලේගම සහ ධම්මික මුතුගල, ලේකම් ප්‍රදීප් ලක්ශාන්ත, විධායක සභික ඒ. පී. නිශාන්ත යන මහත්වරුද සහභාගි වූහ.

මව්බිම

Werzuo Digital

Leave a Reply