ශ්‍රී ලංකවේ ප්‍රථම ක්ෂුද්‍ර ප්ලාස්ටික් විද්‍යාගාරය (Microplastic lab) ගාල්ලේ දී විවෘත කෙරේ

 

ගාල්ල දඩැල්ල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දකුණු පළාත් කාර්යාලයේ  ස්ථාපිත කර ඇති ශ්‍රි ලංකාවේ ප්‍රථම ක්ෂුද්‍ර ප්ලාස්ටික් විද්‍යාගාරය (Microplastic Lab )
වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන්  ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) විවෘත කරන ලදී  
විදේශ කටයුතු අමාත්‍යාංශයේ  සම්බන්ධීකරණය යටතේ ජාත්‍යන්තර Cefas  (Centre for Environment, Fisheries and Aquaculture ) ආයතනය විසින් ලබා දී ඇති  නවීන උපකරණයන්ගෙන් සමන්විත මෙම අංගසම්පූර්ණ විද්‍යාගාරය සමඟ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සමුද්‍රීය සහ වෙරළ පරිසරයන්හි ක්ෂුද්‍ර ප්ලාස්ටික් අධ්‍යන  කටයුතු සදහා අවස්ථාව හිමිවනු ඇත. 
මෙතෙක් ශ්‍රී ලංකාව තුළ මෙම පරීක්ෂණ සිදු වූයේ අවම තාක්ෂණයක් යටතේ ඉතා අල්ප වශයෙනි. මුහුදු ජල නියැදි පරීක්ෂණය , මුහුදු පත්ලේ අවසාදිත නියැදි පරීක්ෂණ (Seabed Sediment ), ආදි ක්ෂේත්‍ර  පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් මෙම  විද්‍යාගාරය සතු වෙයි 
දශක කිහිපයක සිට ප්ලාස්ටික් ද්‍රව්‍ය අවිධිමත්ව පරිසරයට මුදා හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වෙරළ හා සාගර පරිසරය කොතෙක් දුරට ක්ෂුද්‍ර ප්ලස්ටික් මගින් දූෂණයට ලක්වී ඇත්ද යන්න ඉදිරි කාලයේදී මෙම විද්‍යාගාරය භාවිතයෙන් විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව හෙළිදරව් කිරීමට හැකිවනු ඇත. එමඟින් ප්ලාස්ටික් භාවිතය හා අවිධිමත්ව පරිසරයට මුදාහැරීම සම්බන්ධයෙන් වූ කාලෝචිත ප්‍රතිපත්තිමය තීරණයන් සඳහා එළඹීමට  අවශ්‍ය පදනම නිර්මාණය වනු ඇත.
මේ අවස්ථාවට වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් විජේසිරි , විදේශ අමාත්‍යාංශ  සහකාර ලේකම්  හසන්ති දිසානායක, සමුද්‍රීය පරිසර ආරක්ෂණ  අධිකාරියේ සභාපතිනී  නීතිඥ දර්ශනී ලහදපුර, එහි සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර යන මහත්ම මහත්මීන්ද සහභාගී වු අතර මෙම විද්‍යාගාරය පරිත්‍යාග කළ  මහා බ්‍රිතාන්‍ය රජයේ  Cefas ආයතනය නියොජනය කරමින් ආචාර්ය Umberto Vinery ඇතුළු විශේෂඥ පිරිසක් ද මේ සමග එකවූ අතර ඔවුන් විද්‍යාගාරයේ  උපකරණ පරිහරණය සහ පරීක්ෂණ කටයුතු වලට අදාල පූහුනුකිරීම්  කටයුතු ද මේ වන විට  ආරම්භ කර ඇත.
Werzuo Digital

Leave a Reply