මවට හොරෙන් බයිසිකල් පදින්න ගිය සිසුවා දුම්රියේ ගැටී ජිවිතක්ෂයට

සිය මවට හොරෙන් රැගෙන ගිය පාපැදිය පදිමින් සිටි 9 හැවිරිදි දරුවෙක් මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව මොරටුවැල්ල පදිංචි ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.

මියගිය දරුවා අලුත් ගාලු පාරේ සිට පාපැදිය පදවාගෙන යමින් සිටියදී දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබී ඇති බැවින් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා දමා තිබී ඇති අතර දරුවා දුම්රිය මාර්ගය අසල පාපැදිය නවතාගෙන සිට ඇතැයි පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා දුම්රිය ගමන් කර ඇති අතර හරස් ගේට්ටු විවෘත කිරීමට පෙර දරුවා සිය පාපැදිය දුම්රිය මාර්ගය හරහා පදවා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

එම අවස්ථාවේදී ක්ෂණයකින් බෙලිඅත්ත සිට නුවර බලා ගමන් ගන්නා දුම්රිය ද අනෙක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී ඇති අතර, එහිදී දරුවා ගමන් ගත් පාපැදියේ ගැටී ඇත.

අනතුරින් දරුවා මීටර් 13ක් පමණ ඈතට විසිවී ගොස් ඇති අතර, දුම්රිය ඒ ආසන්නයේ නතර කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

අනතුරින් දරුවාගේ පාදයක් වෙන්වී ගොස් ඇති අතර, කඩිනමින් රෝහල්ගත කළත් ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව පොලීසිය පවසයි.

දරුවාගේ පශ්වාත් මරණ පරීක්ෂණය මොරටුව හදිසි මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදුකෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන මොරටුව මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Werzuo Digital

Leave a Reply