පලස්තීනයේ ගාසා තීරයේ හමාස් සංවිධානය, සමස්ත පලස්තීනය නියෝජනය නොකරන බව පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමද් අබ්බාස් අවධාරණය කර තිබේ.
හමාස් සංවිධානය ගාසා තීරයේ බලයේ සිටින්නේ 2007 වසරේ සිටය. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්රායලය සමඟ ගැටුම් ඇති කර ගන්නේ සන්නද්ධ අංශයයි. හාස් සංවිධානය ත්රස්ත සංවිධානයක් ලෙස ඊශ්රායලය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් හඳුන්වයි.
පලස්තීනුවන් ජීවත් වන්නේ ගාසා තීරයේත්, බටහිර ඉවුරේත්ය. බටහිර ඉවුරේ පාලනය ඇත්තේ පලස්තීන පාලන අධිකාරියටය. පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ අබ්බාස්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ පලස්තීන නායක අබ්බාස් අතරේ දුරකතන සන්වාදයක් පැවැත්විණි. එහිදී ගාසා තීරයේ අහිංසක පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතු යැයි පලස්තීන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
මේ අතර, හමාස් සටන්කාමීන් සහ ඊශ්රායල රජය අතරේ හටගත් නව අර්බුදය සම්බන්ධයෙන් අබ්බාස් සහ ඇමෙරිකන් රාජ්ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ජෝර්දානයේ අම්මාන් අගනුවරදීය. ගාසා තීරයේ පලස්තීනුවන් බලහත්කාරයෙන් ඔවුන්ගේ ගම්බිම්වලින් ඉවත් කර ඊශ්රායලය එම ගම්බිම් ඊශ්රායලයට එක් කර ගැනීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති අබ්බාස් ඇමෙරිකන් රාජ්ය ලේකම්වරයා හමුවේ පැවැසුවේය