කොවිඩ් එන්නත ගත් ගැබිනි මව්වරුන්ට සුබ ආරංචියක්

ගර්භණී සමයේදී කොවිඩ් එන්නත් ලබා ගැනීමෙන් මවට සහ දරුවාට බලවත් ආරක්ෂාවක් ලැබෙන බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සිදු කළ නවතම අධ්‍යයනයකින් සොයා ගෙන තිබේ.

ගර්භණී සමයේදී කොවිඩ් එන්නත් ලබා නොගත් මවුවරුන් බිහි කරන දරුවන්ට සාපේක්ෂව, එම සමයේදී එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් මවුවරුන් බිහි කරන දරුවන්, ඔවුන්ගේ ජීවිතයේ පළමු මාස හය තුළ කොවිඩ්-19 වැලඳීම හේතුවෙන් රෝහල්ගත වීමට ඇති ඉඩකඩ 61%කින් අඩු වන බව වන එම අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.

ෆයිසර් සහ මොඩර්නා එන්නත් කොවිඩ්-19 සඳහා දෙනු ලබන mRNA එන්නත් ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම, ගර්භණී මවුවරුන්ට එන්නත් ලබා දුන් ඕනෑම අවස්ථාවකදී එය ඵලදායී වුවද ගැබ්ගෙන සති 21ක් හෝ ඉන් පසුව එන්නත් ලබා දුන් විට ඊටත් වඩා වැඩි ආරක්ෂාවක් ලැබෙන බව එම අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොවිඩ්-19 වැලඳීමෙන් ගර්භණී සමයේදී සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බැවින් එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ගර්භණී මවුවරුන් සඳහා එන්නත් ලබාදීම නිර්දේශ කරන බවය.

එන්නත් කිරීම මඟින් ජනනය කරන රෝග මර්දන ප්‍රතිදේහ ගර්භාශය තුළදී මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන බවත් එමඟින් දරුණු රෝගාබාධ සහ රෝහල්ගත වීම්වලින් ආරක්ෂාව සපයන බවත් එම අධ්‍යයනයෙන් තවදුරටත් සොයා ගෙන තිබේ.

මෙම අධ්‍යයන වාර්තාව පසුගිය 15 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මියගෙන් මේ පිළිබඳව ‘මව්බිම’ විමසීමකදී ඇය සඳහන් කළේ එන්නත් ලබා ගැනීමෙන් මවටද ආරක්ෂාවක් ලැබෙන බවය.

ඒ හේතුවෙන් ගර්භණී මවුවරුන් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට යොමු වන ලෙස ඇය ඉල්ලා සිටියාය.

ඇය පෙන්වා දුන්නේ, මේ වන විට ගර්භණී මවුවරුන්ගෙන් 90%කට වැඩි ප්‍රතිශතයක් කොවිඩ් එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා ගෙන තිබුණද බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ අඩු ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බවය.

බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් දිවයින පුරා සලසා ඇතැයිද ඇය වැඩිදුරටත් පැවැසුවාය.

මව්බිම 

Werzuo Digital

Leave a Reply