USB-C චාජරයක් සමග අඩු මිලට වෙළෙඳපොළට එන iPhone 15

ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 15 නව ස්මාට් ජංගම දුරකථන පෙළ අමෙරිකාවේ ඇපල් සමාගම විසින් කැලිෆෝනියාවේ ඇපල් සමාගමේ මූලස්ථානයේ දී ඊයේ (12) එළිදැක්වනු ලැබීය.

නව ටයිටේනියම් ලෝහ ආවරණයකින්, වඩාත් වේගවත් පරිගණක චිපයකින් සහ වීඩියෝ ක්‍රීඩාවල යෙදීමේ වැඩි හැකියාවක් සහිත iPhone 15 වෙළෙඳපොළට පිවිසෙන්නේ, සැප්තැම්බර් 22 වැනිදා සිටය. 

iPhone 15 එළිදැක්වීමේ වඩාත් අනපේක්ෂිත සිදුවීම වන්නේ, නව මාදිලියේ මිල ඉහළ නොදැමීමයි. 

ගෝලීය ස්මාට් ජංගම දුරකථන වෙළෙඳපොළේ යම් පසුබෑමක් පවතින බව එයින් පිළිබිඹු වන්නේ යැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.

අයිෆෝන් ප්‍රෝ ස්මාට් ජංගම දුරකථනය ඩොලර් 999කට මිල කර ඇති අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3,15,000ක් පමණ වේ.

ඇපල් සමාගමේ කොටස් iPhone 15 එළිදැක්වීමෙන් පසු 1.7%කින් පහත වැටී තිබේ.ඒ, iPhone 15 සමඟ වෙළෙඳපොළ මවිතකරන නව හඳුන්වාදීම් නොමැති වීම නිසාය. 

නව ඇපල් ස්මාට් ජංගම දුරකථනයේ නවාංග කිහිපයක් නිර්මාණය කිරීම සඳහා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් කෘත්‍රීම බුද්ධියේ සහාය ද ලබාගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස කෘත්‍රීම බුද්ධිය යොදාගෙන ඇති එක් නවාංගයක් වන්නේ දුරකථනයේ මුහුණතට දර්ශනය වන පුද්ගලයෙකු හඳුනාගැනීම සහ ඔහුගේ සේයාරුවක් පරිශීලකයාට පසුව දුරකථනයේ ඡායාරූප එකතුවෙන් දැකගත හැකි වීමයි.

ඇපල් නව ස්මාට් වොච් එක භාවිත කිරීමේ දී නවතම හඳුන්වාදීමක් ඇපල් සමාගම ඊයේ සිදු කළේය. 

ඒ මහපටැඟිල්ල සහ දඹරැඟිල්ල යොදාගනිමින් දෙවරක් ස්ලික් කිරීමෙන් දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමට සහ එය අවසන් කිරීමට හැකිවීමයි. 

ස්මාට් වොච් එක දෙස බැලීමෙන් පමණක් එහි දත්ත කියැවීමට හැකි වීම ද විශේෂත්වයකි. 

මෙලෙස ඇඟිලි දෙකක් ක්ලික් කිරීමේ දී රුධිර ප්‍රවාහයේ සිදුවන කුඩා වෙනස ග්‍රහණය කරගෙන ස්මාට් වොච් එක ක්‍රියාත්මක වන්නේ කෘත්‍රීම බුද්ධි යොදාගනිමිනි.

මෙලෙස එක් අතකින් පමණක් දුරකථනය මෙහෙයවීමෙන් අනෙක් අතෙහි බල්ලෙකු රැගෙන යාමට හෝ කෝපි කෝප්පයක් පානය කිරීම වැනි වෙනත් කාර්යයක් සඳහා යොදාගත හැකි බව ඊයේ මෙම නිෂ්පාදන දියත් කිරීමේ අවස්ථාවේ දී ඇපල් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙෆ්‍ විලියම්ස් ප්‍රකාශ කළේය. ‍

ඊයේ හඳුන්වා දුන් ඇපල් අයිෆෝන් 15 දීප්තිමත් මුහුණකින් (display) සහ මෙගාපික්සල් 48ක ප්‍රබල කැමරාවකින් මෙන්ම 100%ක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කොබෝල්ට් බැටරියකින් සමන්විතය.

අයිෆෝන් 15 චන්ද්‍රිකා සම්බන්ධය, මාර්ගයේ දී ගමන් සහාය සඳහා ද යොදාගත හැකි බව වාර්තා වේ.

එසේම, නව ඇපල් දුරකථනයේ බැටරිය USB-C චාජරයකින් බලගැන්වීමට හැකිවීම ද විශේෂත්වයකි. 

ඇපල් මෙලෙස පොදු චාජරයකට යොමු වී ඇත්තේ, යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූල වීමක් ලෙසය. 

Werzuo Digital

Leave a Reply