ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බවත්, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එවිට ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලබා දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
එසේ සාධාරණත්වයක් නොමැති නම් ශ්‍රී ලංකාව විසින් ඊට පිළිතුරු සැපයිය යුතුදැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (03) පස්වරුවේ එක්වෙමිනි.
රුපියල් මිලියන 460ක් වැය කරමින් වැලිමඩ නව අධිකරණ සංකිර්ණය ඉදිකර තිබේ.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය පිළිබඳ සඳහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ සෑම රටක්ම මෙම තීරණාත්මක ප්‍රකාශය සමඟ අනුගත විය යුතු බවයි.
ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ශ්‍රී ලංකා රජය එම ක්‍රියාව කඩිනමින් හෙළා දුටු බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ත්‍රස්තවාදය හෙළා දකින අතරම පලස්තීන රාජ්‍යත්වය පිළිබඳ මූලධර්මයට ශ්‍රී ලංකාවේ සහයෝගය යළිත් තහවුරු කළ බවත් පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිදු වූ මෙම හෙළා දැකීම, ජාත්‍යන්තර නීති සහ රීති රාමුව තුළ ඊශ්‍රායලයට පළිගැනීමේ අයිතියට ඉඩ සැලසූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, එවැනි මූලධර්ම විශ්වීය වශයෙන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොතිබීම පිළිබඳව සිය කනස්සල්ල පළ කළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලට අනුව ගාසා තීරයේ මිනිසුන් 10,000 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම, යම් අයෙකු තමාගේ රට තුළ පවතින යුද්ධයේ සාධාරණත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඊට දක්වනු ලබන ප්‍රතිචාර පිළිබඳ ප්‍රශ්න මතු කරන බව ද සඳහන් කළේය.
එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ඇති බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා එක හා සමාන ප්‍රශ්න පවතින ශ්‍රී ලංකාව සහ ගාසා තීරය සම්බන්ධයෙන් මෙම ජාතීන් අනුගමනය කරන ප්රවේශයේ වෙනසක් ඇත්තේ මන්දැයි ද ප්‍රශ්න කළේය.
ඒ අනුව කලාප දෙකටම එකම නීති ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජාත්‍යන්තර නීතියට අනුව ත්‍රස්තවාදය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මූලික නිදහස ආරක්ෂා කිරීම ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ රාජ්‍යයන්ගේ බැඳීම්වලට පූර්ණ ලෙස අනුකූල විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
කෙසේ වුවත් මෙම මූලධර්ම ක්‍රියාවට නැංවීමේදී පවතින නොගැලපීම පිළිබඳව ද ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
එමෙන්ම, ගාසා තීරයෙහි මතුවී තිබෙන ආර්ථික අර්බුදයේ මානව හිමිකම් බලපෑම ගැන කනස්සල්ල පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආහාර සුක්ෂිතභාවය නොමැතිවීම, ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිකම සහ ගෘහාශ්‍රිත ආදායම අඩු වීම ශ්‍රී ලංකාව පසුගිය වසරේ මුහුණ දුන් අත්දැකීමට වඩා දරුණු බව ද පැවසීය.
අවසන් වශයෙන් දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ පැමිණිලි හා ඉල්ලීම් වලට පිළිතුරු සැපයීමේ වැදගත්කම අවධාරණය කරමින්, සීමාකරණයට ලක්කිරීම සහ වෙනස්කොට සැලකීමට එරෙහිව සටන් කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටියේය.
බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාව සහ ගාසා තීරය වෙත යොදා ගන්නා විවිධ නිර්නායකයන්ගේ වෙනස පිළිබඳ ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර කටයුතුවලදී ද පිරිසිදු දෑත් වලින් කටයුතු කිරීම විශ්වීය අවශ්‍යතාවයක් විය යුතු බවත් ප්‍රකාශ කළේය.