ද්විත්ව පුරවැසියන්ට වැට බදින, පාර්ලිමේන්තුවට බලය ලැබෙන 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත

ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් පත් කිරීම සුදුසු නැති බවට වන වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි 21වැනි සංශෝධනයට ඇතුළත් කර තිබේ.

21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 91 (1)(xiii) වන උප ඡේදයේ මෙම සංශෝධනය ඇතුළත් කර ඇත.

21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට 19 වැනි සංශෝධනයේ ආකෘතිය ගෙන ඒමෙන් ස්වාධීන කොමිෂන් සභාවලට යළි ස්වාධීනව ක්‍රියාත්මක වීමට හැකි සංශෝධන ද මීට ඇතුලත් කර තිබෙි.

ජනාධිපතිවරයා සතු බලතල වලින් සෑහෙන ප්‍රමාණයක් ස්වාධීන කොමිෂන් සභා වලටත් ව්‍යවස්ථාදායක සභාවට සහ කැබිනට් මණ්ඩලයටත් පැවරීම මගින් ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමෙි සංශෝධන ද 21 වන සංශෝධනයට ඇතුලත් ය.

20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අක්‍රීය කර තිබු ප්‍රසම්පාදන සහ විගණන සේවා කොමිෂන් සභා යළි ක්‍රියාත්මක කිරිමටත් බලය හීන කර තිබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම සහ පොලිස් කොමිසම, නැවතත් ස්වාධීනව පවත්වා ගෙන යාමට හැකි වන ආකාරයේ සංශෝධනත් 21 වන සංශෝධනයට ඇතුළත් කර තිබේ.

කැබිනට් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතු බවට වන සංශෝධනයක් ද ඇතුළත් වෙයි.

21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පළාත් සභා සම්බන්ධයෙන් කිසිදු සංශෝධනයක් ඇතුළත් නොවේ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව යළි පිහිටුවීම සම්බන්ධයෙන්ද 21 වැනි ආණ්ඩු ක්‍රම සංශෝධන කෙටුම්පතේ සඳහන් වේ.

එහි සාමාජිකයින් වශයෙන් අගමැති, කතානායක,විපක්ෂ නායක සහ අගමැතිවරයා සහ විපක්ෂ නායක යන දෙදෙනා නම් කරන ජනාධිපතිවරයා විසින් පත් කරන ලබන පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර එම පස් දෙනාගෙන් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුය. අනෙක් තිදෙනා පොදු හෝ වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන කීර්තිමත් සහ අවංකභාවයක් ඇති කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයින් නොවන පුද්ගලයන් විය යුතුය.

ව්‍යවස්ථා දායක සභාවට පත් කරන එම සාමාජිකයින් පස් දෙනාගේ ධුර කාලය වසර තුනකි.

ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත් කළ යුත්තේ මෙම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත පමණි.

ස්වාධීන කොමිෂන් සභා වල සභාපති ධුරය සඳහා ව්‍යවස්ථා දායක සභාව තිදෙනකු නිර්දේශ කළ යුතු අතර ඒ අතරින් එක් අයකු පත් කිරීමෙි බලය ජනාධිපතිවරයා සතු වෙි.

මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මුදල් කොමිසම, සීමා නිර්ණය කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම මෙලෙස බලාත්මක කෙරෙන කොමිෂන් සභාවේ.

නීතිපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) සහ පාර්ලිමේන්තු මහලේකම් යන තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත පත්විම් සිදු කළ යුතුය.

අගමැති ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා අස්වන්නේ නම් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ නම් මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වන කාලය පුරාවටම අග්‍රාමාත්‍යවරයාට දිගටම ධූරයේ කටයුතු කළ හැකි බවද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙයි.

මේ අතර අධිකරණ අමාත්‍යවරයා විසින් පෙරේදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ

එම ලිපියේ සඳහන් වන්නේ අදාළ විසි එක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සමීපව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එහි සිදු විය යුතු යම් යම් වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම ලිපිය යොමු කරන බවයි

“රටේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) යෝජනා” යනුවෙන් සටහන් වන මෙම ලිපියේ නීතිඥ කවුන්සිලය විසින් අනුමත කරන ලද 20 වැනි සංශෝධනයේ විධිවිධාන අහෝසි කර 19 වැනි සංශෝධනය ප්‍රතිෂ්ඨාපනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය හඳුන්වා දීමටත් 19 යටතේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීමටත් යෝජනා කරන තිබෙනවා

එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත නොවන වැදගත් ප්‍රතිපාදන කිහිපයක්ද මෙම ලිපිය හරහා ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකා නීතිඥ සංගමය යොමුකර තිබෙනවා.

එහි දී ඔවුන් පෙන්වා දෙන්නේ, යෝජිත 21 වැනි සංශෝධනය කෙටුම්පතෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනවා තිබූ විධිවිධාන අනුව ජනාධිපතිවරයාට සිය කැමැත්තට විෂයයක් හෝ කාර්යයන් පැවරීමෙන් වළක්වා තිබූ බවයි.

කෙසේ වෙතත්, යෝජිත 21 වැනි සංශෝධනයේ එවැනි ප්‍රතිපාදනයක් ඇතුළත් නොවන අතරම, ඒ නිසා ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තමා යටතේ තබා ගැනීමටත් ඕනෑම විෂයයක් සහ කාර්යයන් තමන්ට පවරා ගැනීමටත් මෙන්ම ඕනෑම අමාත්‍යවරයකුගේ විෂයයන් සහ කාර්යයන් පවරා ගැනීමටත් හැකියාව ලැබෙන බවයි.

එහෙයින් 21 වැනි සංශෝධනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ප්‍රතිපාදන ඇතුළත් විය යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) පවසනවා.

මීට අමතරව, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රතිවිරුද්ධ ව පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු වසර හතරහමාරකට පසුව පමණක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි වන පරිදි පාර්ලිමේන්තුව කල් තැබීමට සහ විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල එලෙසම නො පවතින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දෙනවා.

මෙම ලිපිය හරහා ඔවුන් අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන යළි ස්ථාපිත කළ යුතු බවට යි.

මීට අමතරව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවල අඩංගු වූ පහත කරුණු 21 වැනි සංශෝධනයට ඇතුළත් කරන ලෙසටත් ඔවුන් ජනාධිපතිවරයාට නිර්දේශ කරණවා.

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව (මහ බැංකු අධිපතිවරයාට අමතරව) පත් කළ යුතු මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සඳහා ප්‍රතිපාදනයක්.

2. අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන් පත්කිරීම සඳහා ප්‍රතිපාදන අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සිදු කළ යුතුයි.

3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නීතියෙන් ස්ථාපිත ආයතනයක නිර්දේශයට අනුව ජනාධිපති සමාව ලබා දීම අවශ්‍ය කරන විධිවිධාන.

4. ස්වාධීන කොමිෂන් සභාවල මූල්‍ය ස්වාධීනත්වය, විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම සඳහා වූ විධිවිධාන.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 3 සිට 5 දක්වා වැඩි කළ යුතු බවත්, ඊට ප්‍රතිවිරුද්ධව 17 වැනි සංශෝධනයෙන් අනුමත කර ගත් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 7 සිට 5 දක්වා අඩු කිරීමටත් ඔවුන් මේ ලිපියෙන් වැඩිදුරටත් නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාව තුළ ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා වන අත්‍යවශ්‍ය පියවරක් ලෙස තමන් සළකන බැවින් එය කඩිනමින් බලාත්මක කිරීම සහතික කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටීනවා.

ලංකාදීප හා හිරු

Werzuo Digital

Leave a Reply