බෙන්තොට තරු පන්තියේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයකදී මියන්මාර් ජාතික 26 හැවිරිදි තරුණියකට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අවන්හලේ හිමිකරු සහ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු අද (16) අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය පවසයි.
මෙම තරුණිය සංචාරක හෝටලය ආසන්න අවන්හලකට ආහාර ගැනීමට ඇගේ මිතුරියක් සමඟ ගොස් සිටියදී එහිදී ඇණවුම් කර තිබෙන මිශ්‍ර පානයකට කිසියම් මත්ද්‍රව්‍යයක් මුසුකර අනතුරුව ඇයව අතවරයට පත් කර ඇතැයි කළ පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය පවසයි.
සිද්ධිය වූ දින එම තරුණිය ඇගේ මිතුරිය සමග මෙම අවන්හලට ආහාර ගැනීමට ගොස් සිටියදී දෙදෙනා ඇනවුම්කර තිබෙන මිශ්‍ර පානයක් බීමෙන් පසු අසාමාන්‍ය මත්ගති තත්ත්වයකට පත්ව තිබෙන බවත් පසුව එක් තරුණියක් තමන් නැවතී සිටි හෝටලයට පැමිණ පියවි තත්ත්වයට පත්වීමෙන් අනතුරුව තම මිතුරිය නොමැති බව හෝටල් කළමනාකාරීත්වයට දැනුම්දී පසුව හෝටල් කළමනාකාරිත්වය බෙන්තොට පොලිසියට පැමිණිලි කර තිබේ.
අතවරයට ලක්වූ තරුණිය බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකාර අවන්හල් හිමිකරු සහ සේවකයන් දෙදෙනා බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ලංකාදීප