මම ජිවත්විමේ ආසව අත්හැරියේ නැහැ – පැය 22 මුහුදේ පිහිනු වීරයා කතා කරයි

බහු දින යාත්‍රාවකින් මුහුදට වැටී පැය 22කට අධික කාලයක් මුහුදේ පාවෙමින් සිටියදී නාවික හමුදාව විසින් පසුගිය (09) වනදා පෙරවරුවේ බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කල ධීවරයෙකු වු නාමල් සමන් ප්‍රියන්ත (55) මහතා සොයා කරාපිටිය රෝහල වෙත ගිය Galle Times වෙත ඔහු මුහුණදුන් බිහිසුණු අත්දැකිම මෙසේ පැවසීය..
“මම මුහුදට වැටුනේ දවල් 1.00 විතර තමයි. වැටුණු වේලාවේ එකපාරටම වතුර යට ගිහිල්ල උඩට එනකොට අපේ බොට්ටුව මීටර් සියක් විතර ඇතට ගිහිල්ල තිබුනා. මම හිතුවා මම මැරෙයි කියලා ඒත් මම ජිවත්විමේ ආශාව අත් හැරියේ නැහැ”
“මගේ උපන්ගම රත්ගම කපුමුල්ලේ.මම දැනට පවුලේ අය සමග පදිංචිවෙලා ඉන්නේ කොළඹ වැල්ලවත්තේ ඩබ්ලිව්.ඒ.ද සිල්වා මාවතේයි. මුහුදු රස්සාවට යන්න ගමට එනවා.මම අවුරුදු 25 තිස්සේ මුහුදු යනවා”
එදා මම ගියේ වලහන්දුව ලසන්ත කුමාර යන අයට අයත් ලක්විදු 3 බෝට්ටුවෙයි. අපි 06 දෙනෙක් සෙනසුරාදා සවස ගාල්ල ධිවර වරායෙන් පිටත් උනා. පසුදා දහවල් බත් කාලා එකට විතර මම ශරිර අවශ්‍යතාවයකට බොට්ටුවේ උඩට ආවා. ඒ එක්කම එක පාරටම බෝට්ටුව පැද්දිලා මම මුහුදට වැටුනා. මම වැටෙනව කවුරුවත් දැක්කේ නැහැ.ඒ වේලාවේ ඔක්කොම හිටියේ බෝට්ටුව ඇතුලේ. මම වතුරට වැටිල එක සැරයක් උඩට එනකොට බෝට්ටුව මිටර් සියක් විතර ඇතට ගිහිල්ලා.
ඒත් මම ජිවත්විමේ ආසාව අත හැරියේ නැහැ. මට හොඳට පිනන්න පුලුවන් කුඩාවැල්ල වරාය කිට්ටුව තමයි මාව වැටුනේ. දෙවුන්දර ප්‍රදිපාගාරයත් පෙනුනා. එනිසා මම ඒ ඔස්සේ ගොඩබිම දෙසට පිනන්න පටන් ගත්තා.ටික දුරක් පිනන කොට සුදුපාට බෝයාවක් දැක්කා මම ඒකත් අල්ලගෙන එලිවෙන තුරු  පිහිනමින් සිටියා.
ඒ අතරේ ඉරිදා දවල් නේවි එකේ යාත්‍රාවක් දැක්කා. මම එයලට අත වැනුවා. ඒ යාත්‍රාව ඇවිත් මාව බේරගෙන එයාලගේ යාත්‍රාවට ගත්තා. ඒකට අරගෙන මට මූලික ප්‍රතිකාර දුන්නා. මුහුදු වතුර පෙවිලා මම හුඟාක් වෙහෙසෙට පත්වෙලා හිටියේ. පස්සේ ගාල්ල වරායට ගෙනැල්ල කරාපිටිය රෝහලට ගෙනාවා. මට දැන් සනිපයි.මාව බේර ගත්ත සියලුම දෙනාටම ස්තුතියි ඒ අයට මම දෙනාටම පිං දෙනවා.“ 
ඔහුගේ තත්වය පිළිබඳ ගාල්ල කරාපිටිය රෝහලේ 19 වාට්ටුව බාර විශේෂඥ වෛද්‍ය උපුල්ද සිල්වා මහතාගෙන් විමසු විට කියා සිටියේ ඔහු පැය විසි දෙකක් මුහුදේ පිහිනා ඇති අතර මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්වය ඉතා යහපත් බවය. රෝහලේ දී ලබාදිය යුතු සියලුම ප්‍රතිකාර කඩිනමින් ලබාදිමට පියවර ගත් බවද ඒ විශේෂඥ වෛද්‍යවරයා පැවසිය.

                 නාමල් සමන් ප්‍රියන්ත මහතා

පෙර පුවත සදහා 👇 

Werzuo Digital

Leave a Reply