ජීවිතයේ සැබෑ යථාර්ථය අවබෝධ කරගත් පසු ඉතා සැහැල්ලුවෙන්, සතුටින් ජීවිතය ගොඩනඟා ගැනීමට පහසු වේ. ඉතා සුළු භෞතික සම්පත් අහිමි වූ විටදී පවා ජීවිතය පිළිබඳ කලකිරීමට පත්වන සමාජයක් මේ වනවිට බිහිවීම කනගාටුදායක තත්ත්වයකි. එවන් අවස්ථාවල ඇතැම් විට ජීවිත හානි පවා සිදුකර ගන්නා සමාජයක් බිහිව තිබේ.
අධ්‍යාපනයෙන් පමණක් සෑම අතකින්ම පරිපූර්ණ වුවද සුළු දෙයකින් පවා කම්පා වන, අධෛර්ය වන සමාජයට ආදර්ශවත් පණිවුඩයක් ලබා දෙන පවුලක් ‘මව්බිම’ ඉරිදා සංග්‍රහයට හමුවූයේ මාතර, දෙවිනුවර – කපුගම ප්‍රදේශයෙන්ය. ලොවක් දකින්නට දෑස් අහිමි වූ පවුලක් ලෙස දෙවිනුවර වාව්ව ආරේ වත්ත පදිංචි ඒ.එච්. සංජීව ප්‍රියංග (34), ඔහුගේ බිරිය එම්.ඒ. නිල්මිණී මධුශිකා (25) සහ වයස අවුරුදු 03ක් වූ ඒ.එච්. සත්සරා දියණිය ඇතුළු පවුලේ තිදෙනාම දෘශ්‍යාබාධිත වේ. සංජීව ප්‍රියංග පූර්ණ දෘශ්‍යාබාධිත අයකු වන අතර ඔහුගේ බිරිය සහ දියණිය මේ වන විට අර්ධ දෘශ්‍යාබාධිත භාවයෙන් පෙළෙයි.
වයස අවුරුදු තුනක් වූ තම දියණියත්, බිරියත් පෝෂණය කිරීම සඳහා කිසිවකුට අතපෑම වෙනුවට සංජීව තෝරාගෙන ඇත්තේ තම උත්සාහයෙන් බිරියත් දරුවාත් පෝෂණය කිරීමයි. ඒ සඳහා ඔහු විසින් හඳුන්කූරු නිෂ්පාදනය සහ ඔවුන් දෙදෙනා විසින් අලෙවිය සිදුකරන අතර ඒ තුළින් උපයා ගන්නා මුදලින් පවුලේ තිදෙනාම ඉතා සතුටින් ජීවත් වේ. එහෙත් ඔහුගේ අපේක්ෂාවන්, බලාපොරොත්තු නම් සුළුපටු නොවේ.
එමෙන්ම ඔහුගේ අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කර ගැනීමට දෑස් නොපෙනීම බාධාවක් කරගෙන නැත. ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ නිෂ්පාදනය කරන හඳුන්කූරුවලට නොදෙවැනි උත්සාහයක් ඔහු ගෙන තිබේ. එම නිෂ්පාදන ඉන්දියාවේ නිෂ්පාදිත තත්ත්වයෙන්ම ඔහුගේ කුඩා පැල තුළ නිපදවන්නට තරම් ඔහු සමත් වී තිබේ. ඒ සඳහා අර්ධ ලෙස දෑස් නොපෙනෙන ඔහුගේ බිරියගෙන් ලැබෙන පන්නරය සුළුපටු නොවන බව ඔහුගේ මුවින්ම කියයි.
මේ වනවිට මදුරුවන් පලවා හරින ශාකසාර හඳුන්කූරු නිපදවමින් තම ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට පියවරක් තබා තිබේ. එවන් පසුබිමක් තුළ ලෝකය දිනන්නට සංජීව ප්‍රියංගට ඇති නොහැකියාව කුමක්දැයි ඔහු විමසන්නේ දෑස් පෙනෙන සමාජය අභියෝගයට ලක්කරමින්ය. ඒ ගිනස් වාර්තාවක් මේ වසරේ වෙසක් පොහෝ දිනට තැබීමට සංජීව ලහි ලහියේ සූදානම් වෙමින්ය.
ඒ මීට පෙර ඉන්දියන් ජාතිකයකු අඩි 62යි අඟල් 8ක හඳුන්කූරක් නිපදවා ගිනස් වාර්තාවක් තබා ඇති බව සංජීව කියයි. එම ගිනස් වාර්තාව බිඳ දමමින් අඩි 65ක් උස ලෝකයේ උසම හඳුන්කූර නිපදවීම මේ මස 11 වැනි දින මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබාගෙන උදෑසන දානමය පින්කමක් නිවෙසේ සිදුකර වැඩ ආරම්භ කළේය. මේ වනවිට ඔහු විසින් අඩි 12ක විශාල හඳුන්කූරක් නිපදවා ඇති අතර එය එදින මාධ්‍යයට විවර කළේය. මේ සුවිශාල හඳුන්කූර සෑදීමට තම බිරිය ලබාදෙන සහයෝගය සිහිපත් කරමින් සංජීව ප්‍රියංග ‘මව්බිම ඉරිදා’ වෙත මෙසේ අදහස් ප්‍රකාශ කළේය.
“මගේ නම සංජීව ප්‍රියංග. මට වයස අවුරුදු 34ක් වෙනවා. මම ගාල්ල, දන්ගෙදර ප්‍රදේශයේ උපන් අයෙක්. මටත් අපේ පවුලේ කිහිපදෙනකුට දෘශ්‍යාබාධ තියෙනවා. මට කුඩා කාලේ අර්ධ ලෙස පෙනීම තිබුණා. ඒ කාලේ මම ඉස්කෝලේ ගියා. පසු කාලයේ මට සම්පූර්ණයෙන්ම පෙනීම නැහැ. මම විවාහ වුණේ ගාල්ල, දන්ගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි මධුශිකා එක්ක. ඇයත් අර්ධ දෘශ්‍යාබාධිතයි. අපි දෙන්නා ගෙවල්වලට හොරෙන්, හොරෙන් ආදරය කළා. මට දෑස් නොපෙනෙන බව දැන දැනත් මධුශිකා ආදරය කළා. අන්තිමට අපි දෙන්නා විවාහ වෙන්න තීරණය කළා. අපි දෙන්නට දුවෙක් ඉන්නවා. එයා උපතින්ම දෘශ්‍යාබාධිතයි. නමුත් වෛද්‍යවරුන්ට පින් සිද්ධ වෙන්න කරපු සැත්කම්වලින් පසු මේ වනවිට අර්ධ ලෙස පෙනීම තියෙනවා. දෘශ්‍යාබාධිත අපට කිසිවකු සලකන්නේ නැහැ. අපි හැම වෙලාවකම කොන් වෙලා ඉන්නේ. ඒත් අපිටත් යමක් කරන්න පුළුවන් කියලා පෙන්වන්න මම හැම වෙලාවකම උත්සාහ කළා. ඒ වෙනුවෙන් මම චීනේ ගිහින් ලංකාවට රිදී පදක්කමක් වගේම ලෝකඩ පදක්කමක් ගෙනාවා. ඒ 2003 වර්ෂයේ චීනයේ පැවැති දෘශ්‍යාබාධිතයන්ගේ මීටර් 100 තරගයකට සහ මීටර් 200 තරගයකට සහභාගි වී තෙවැනි ස්ථානයත් දෙවැනි ස්ථානයත් ලබා ගනිමින්. ඒ වනවිටත් මට දෑස් නොපෙනීම සම්පූර්ණයෙන්ම තිබුණා. නමුත් අපේ රටට මොනවා හරි කීර්තියක් ගෙනත් දෙන්න හැකිවුණා. ඒක මට සතුටක්. මම දැනට ආරම්භ කළා අඩි 65ක් උස හඳුන්කූරක් හදලා ලෝකය ජයගන්න. මේක ඉන්දියාවේ අඩි 62යි, අඟල් 08ක්. මම අඩි 65ක හඳුන්කූරක් නිපදවලා ගිනස් වාර්තාවක් තියෙනවා. හැබැයි මේක අවබෝධ කරගන්න ඕන. ඉන්දියාවේ හඳුන්කූර නිපදවුයේ දෑස් පෙනෙන අයෙක්. නමුත් පූර්ණ දෘශ්‍යාබාධිතයෙක් තමයි මම. ඒක තවත් වාර්තාවක් වෙනවා නිසැකයි.
දෑස් නොපෙනෙන අසරණයන්ගේ දුක දන්නේ මහත්තයෝ දෑස් නොපෙනෙන තවත් අසරණයෙක්. ඒ නිසාම මම කල්පනා කළා මගේ නිවෙසේ තවත් දෘශ්‍යාබාධිතයන් කිහිපදෙනෙක් හරි නතර කරගෙන ඔවුන් පෝෂණය කරන්න. මට අනුකම්පා කරලා පිනට කීයක් හරි දෙනවට වඩා වටින්නේ මගේ නිෂ්පාදනයක් මිලට අරගෙන සහයෝගය දීමයි. ඒ නිසා මට උත්සාහයෙන් ජීවත් වෙන්න අත දීමක් පමණක් හොඳටම වටිනවා” යැයි ඔහු කීය.
දෘශ්‍යාබාධිත ව්‍යාපාරිකයෙක් වෙන්න ඔහු තුළ දැඩි උත්සාහයක් තිබේ. නමුත් දෑස් පෙනෙන සිත්පිත් ඇති මිනිසුන්ගේ දෑත් දිගු කිරීම මේ අසරණ පවුලට මහත් උපකාරයකි. ඔහුගේ චිත්ත ශක්තිය, වීර්ය, ධෛර්ය කොතෙක් වුවද රටේ පවතින ආර්ථික තත්ත්වයත් කොරෝනා වසංගත තත්ත්වයත් හමුවේ සංජීව ප්‍රියංග මේ වනවිටත් අන්ත අසරණය. කෙසේ වෙතත් ඇති දෙයින් සතුටු වන තම ස්වාමිපුරුෂයා ගැන නිල්මිණි මධුෂිකා පැවැසූයේ මහත් අභිමානයෙන්. “මගේ මහත්තයා මටත් දරුවන්ටත් ගොඩක් ආදරෙයි. එයා අපි සිඟමනට වැටෙනවාට කැමැති නැහැ. ඒ නිසා අපි දෙන්නා එකතුවෙලා හඳුන්කූරු හදලා විකුණනවා. එයා ඒ ලැබෙන මුදලින් අපිව ජීවත් කරනවා. අපි හරිම සතුටින් ඉන්නේ. එයා රාත්‍රි පුරා සින්දු කියනවා. වෙලාවකට අපි දෙන්නම සින්දු කියනවා. සතුටින් ඉන්නවා. ඒත් අපිට ඉන්නේ දුවෙක්. අනාගතය ගැන බයක් තියෙනවා. දුව මේ වසරේ පෙර පාසලට දැම්මා. ඒ වියදම් ඉතා ඉහළයි. නමුත් එයා අපිට ගොඩක් ආදරෙයි. එයා කාලයක සිට ගිනස් වාර්තාවක් තියන්න හඳුන්කූරක් හදනවා කිව්වා. මම එයාගේ ආශාව ඉටු කරන්න උදවු කරනවා. අපිට මේ වෙසක් පෝයට ඒ විශාල හඳුන්කූර හදලා වාර්තාවක් තියන්න පුළුවන් කියලා හිතනවා.”
මව්බිම ඉරිදා – මාතර උදය කුමාර රණවීර