දිනකට Selfie 3කට වඩා ගන්නවා නම් මානසික ලෙඩක්

සාධාරණ හේතුවකින් තොරව එක් දිනක් ඇතුළත සෙල්ෆි ඡායාරූප තුනකට වඩා ගන්නේ නම් එය මානසික රෝග ලක්ෂණයක් යැයි මනෝ වෛද්‍ය උපදේශක කමල් එස්. ජයසේකර මහතා පසුගියදා පැවැසීය. අන්තර්ජාලයට ඇබ්බැහි වීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට සමාන යැයිද එය දරුණු රෝගාබාධවලට ගොදුරු වන්නක් යැයිද මනෝ වෛද්‍ය උපදේශක කමල් එස්. ජයසේකර මහතා බොරලැස්ගමුව මහා විද්‍යාලයේ පැවැති පාසල් දරුවන්ගේ අන්තර්ජාල හා දුරකථන ඇබ්බැහි පිළිබඳ මනෝ සමාජීය කුසලතා සංවර්ධන වැඩසටහනේදී පැවැසීය.

බොරලැස්ගමුව නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතාගේ සංකල්පයක් මත නාගරික මන්ත්‍රි මණ්ඩලයේ සහායෙන්, වැඩසටහන් මාලාවක පළමුවැන්න ලෙස නගර සභා මහජන පුස්තකාලය සංවිධානය කරන ලදී.

යහපත් පුරවැසියෙක් වීමට යමෙක් කුඩා කල සිටම මානසික සූදානමකින් සිටිය යුතු අතර සමාජය සමඟ කරන අයහපත් ගනුදෙනු ඊට බාධාවක් යැයි පැවැසූ මනෝ වෛද්‍ය උපදේශකවරයා මෙසේද කීය. “සමහර පාසල්වල දරුවන්ට ජංගම දුරකථන තහනම් කර තිබියදීත් බොහෝ දෙනෙක් ඒවා භාවිත කරනවා. එම උපකරණ වැඩිහිටියන්ගේ භාරයට ගතහොත් ජීවිත එපා කියන දරුවනුත් ඉන්නවා. දුරකථන, අන්තර්ජාල යොදාගත යුත්තේ තම යහපත උදෙසායි. එය වැරදි ලෙස පරිහරණය කළොත් අමාරුවේ වැටෙන්නේ තමාමයි.

උත්සව හෝ පින්කම් වැනි සාධාරණ හේතුවක් නැතිව දවසකට සෙල්ෆි තුනකට වඩා ගැහුවොත් ඒක මානසික රෝග ලක්ෂණයක්. එවැනි අයෙක් රෝහලකට යොමුකළත් ඔහු ඉන්නේ අන්තර්ජාල මානසිකත්වයේ. අන්තිමට ඒ අය හැසිරෙන්නේ යකෙක් ආරූඪ වුණා වගෙයි.

මනෝ වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම තමයි වැඩිහිටියන් තරුණ පිරිස් වගේ වැරදි කරනවා නම් ඔවුන්ගේ ළමා කාලය හරියට නිර්මාණය වෙලා නෑ කියන එක. සමහරවිට එය ඔවුන්ගේ මවුපියන්ගෙන්ම ලැබුණු ආභාසයන් වෙනවා. උගත්කමක් නැති නිසා දරුවන් නොමඟ යවන මවුපියනුත් ඉන්නවා.

විවිධ වැරදිවලට සම්බන්ධ මිනිස්සු ජංගම දුරකථන හා අන්තර්ජාලය හරහා ඔබ හා මිතුරු විය හැකියි. ඔවුන් ඔබත් එම වැරදිවලට පොලඹවනවා. එය මත්ද්‍රව්‍යවලට යොමුවීමේ මාර්ගයක්. ඉන් ඔබ පමණක් නොවෙයි ඔබේ පරපුරම විනාශ වෙනවා.

ඒ වගේම ඔබ ජීවිතයට තනියම මුහුණ දෙන අවස්ථාව වනවිට ඔබේ හැකියාවන් ටික හදාගත යුතුයි. ඒ සඳහා පුස්තකාලයට යොමුවී පොතපත සමඟ යාළු වෙන්න. එවිට නරක මිනිසුන්ගෙන් ඔබ ඈත් වෙනවා. පාසල් දරුවන්ගේ ප්‍රධාන වගකීම ඉගෙනීම බැවින් එයට මුල්තැන දෙන්න. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කියන්නේ ජය ගතයුතුම විභාග දෙකක්. ඒ දෙක සමත් කර ගතහොත් ජීවිතයේ කවදාහරි ඔබට උපාධියක් ලබාගත හැකියි.

දුරකථනයට හා අන්තර්ජාලයට ඇබ්බැහි වෙන්නේ හරි අරමුණක් නැති නිසා. නිවැරදි ඉලක්කයකට යනවිට කිසිම වරදකට හසුනොවී තම ජීවිත හැඩගස්වා ගන්න පුළුවන්. මේ හැම දරුවකුම හොඳ ගුණධර්ම පුරුදු කරගෙන යහපත් පුරවැසියෙක් සේ සමාජගත වීමට සිතට ගන්න.”

මව්බිම 

Werzuo Digital

Leave a Reply