රුසියානු ජනාධිපතිවරණයෙන් 87.32%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ව්ලැදිමිර් පුටින් පස්වැනි වරටත් එරට ජනපතිධුරයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර, විරෝධතා, ඡන්ද මධ්‍යස්ථානවලට ගිනි තැබීම් සහ ඡන්ද පෙට්ටිවලට තීන්ත පිරවීම් වැනි කඩාකප්පල්කාරී ක්‍රියා රැසක් මැද පසුගියදා දින තුනක් පුරා පැවැති රුසියාවේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනපති පුටින් විශිෂ්ට ජයක් අත්කර ගත් බවත්, දෙවැනි තැනට පත් වූ කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා ලැබූ ඡන්ද ප්‍රතිශතය 4.32ක් පමණක් බවත් එරට මැතිවරණ කොමිසම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය උපුටා දක්වමින් රුසියනු මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව 71 හැවිරිදි ව්ලැදිමිර් පුටින් වසර 2030 දක්වා රුසියාවේ ජනාධිපතිවරයා ලෙස පත්වනු ඇතැයි ද, වසර 2029 වන විට ඔහු රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපතිධුරය හෙබවූ පුද්ගලයා ලෙස ඉතිහාසගත වනු ඇතැයි ද එම වාර්තා වැඩිදුරටත් වාර්තා කළේය.
මීට පෙර එරට හිටපු ජනාධිපති ජෝසෙෆ් ස්ටාලින් 1924 සිට 1953 දක්වා වසර 29ක කාලයක් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබිණි.
රුසියාවේ කේජීබී ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියා වන පුටින් 1999 වසරේ අගභාගයේදී එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බොරිස් යෙල්ට්සින් තනතුරෙන් ඉවත්වීම හේතුවෙන් වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර, අනතුරුව 2000 වසරේ සිට 2008 දක්වා ධුර කාල දෙකක් සම්පූර්ණ කළේය.
එවකට එරට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව පිට පිට දෙවතාවකට වඩා ජනාධිපතිධුරයේ කටයුතු කළ නොහැකිවීම හේතුවෙන් 2008 සිට 2012 දක්වා කාලයේදී ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් යටතේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර, මේ දක්වා අඛණ්ඩව රුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ 2012 වසරේ සිටය.
2020 වසරේදී රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඔහුට මෙවර ධුරකාලයට අමතරව තවත් ධුරකාලයක් සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබී ඇති අතර, ඔහු 2036 දක්වා රුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි අනාවැකි පළ වී තිබේ