ශ්‍රි ලංකාවේ ප්‍රථමයෙන් සිටුවන ලද දෙල් ගස යැයි සැලකෙන ගාලු කොටුවේ පැරණි දෙල් ගස



රට දෙල් ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය ආහාරයකි කිරට මිරිසට උයා, තම්බා හෝ බැද කෑමට ගන්නා රට දෙල් ගසට ඒ නම ලැබී ඇත්තේ එය විදෙස් රටකින් ගෙන්වා මෙරටට හඳුන්වා දීම හේතුවෙනි.

බොහෝ දෙනකුගේ පිළිගැනීම වී ඇත්තේ ලන්දේසීන් විසින් ප‍්‍රථම වරට රට දෙල් ගස ශී‍්‍ර ලංකාවට ගෙනවිත් සිටුවන ලද බවයි. උද්භිද විද්‍යාත්මකව ආටොකාපස් ඉන්සිසස් (Artocarpus altilis) ලෙස හදුන්වන රට දෙල් ගස ඉංගී‍්‍රසි බසින් හදුන්වන්නේ බ්‍රෙඞ් ෆෲට් හෙවත් පාන් පළතුර ලෙසිනි.

දෙල් ගස ශී‍්‍ර ලාංකිකයෝ පළතුරක් ලෙස හඳුන්වන්නේ නැත. එය අපට ආහාරයක් පමණි. කෙසේ වෙතත් ජන වහරේ පැවසෙන්නේ ශී‍්‍ර ලාංකිකයන්ගේ එඩිතර වීර කි‍්‍රයාවන්ගෙන් පීඩාවට පත්වූ ලන්දේසීන් උෂ්ණාධික ආහාරයක් වන දෙල් මෙරටට හඳුන්වා දී සිංහලයන් දෙල් කෑමට පුරුදු කර රෝගී කිරීමේ අපේක්ෂාවෙන් දෙල් ගස මෙරට රෝපණය කළ බවයි.

ඒ පිළිබඳ මෙතෙක් පැහැදිලි සාක්ෂි හමුවී නැතත් බොහෝ දෙනකුගේ මතය වන්නේ ලන්දේසීන් මෙරටට ගෙන ආ ප‍්‍රථම දෙල් ගස ගාල්ල කොටුවේ රෝපණය කරන ලද බවයි. ගාල්ල කොටුවේ වර්තමාන වරාය අධිකාරියට අයත් නිවාඩු නිකේතන ගොඩනැගිල්ල පිහිටි භූමියේ ඉතා පැරණි යැයි සිතිය හැකි විශාල දෙල් ගසක් පිහිටා ඇත. මේ ගොඩනැගිල්ල අතීතයේ වරාය භාර නිලධාරී වරයාගේ (හාබර් මාස්ටර්) නිල නිවස ලෙස යොදා ගැණිනි. බොහෝ දෙනකුගේ මතය වන්නේ මෙහි ඇති විශාල දෙල් ගස ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට රෝපණය කරන ලද දෙල් ගස බවයි.

උෂ්ණාධික බල මාළු කෑමේ දී පොල් මිශ‍්‍ර කැර ගැනීමට පුරුදුව සිටි සිංහලයන් දෙල් කෑමටත් පොල් යොදා ගැනීමෙන් දෙල්වල ඇති උෂ්ණයෙන් වැඩි බලපෑමක් නොවූ බවත් ඉන් වැඩි ශක්තියක් ලැබූ බවත් පැවසේ. කෙසේ වෙතත් ඉංගී‍්‍රසි බසින් දෙල් ගසට බ්‍රෙඞ් ෆෲට් යැයි කීමෙන් පෙනී යන්නේ යුරෝපීයයෝ ද දෙල් ආහාරයට ගන්නට ඇති බවයි. ඔවුන් පොල් හෝ පොල් කිරි යොදා ආහාර පිසින්නේ නැත. එසේ නම් දෙල් කෑමෙන් සිංහලයන් දුර්වල කිරීමට උපායක් ලෙස රට දෙල් ගස මෙරටට හඳුන්වා දුන්නා යැයි යන්න සැකයට බඳුන්වන දෙයකි.

ගාලු කොටුවේ ඇති මෙරට ප්‍රථමයෙන් සිටුවන ලද බවට සැලකෙන දෙල් ගස


රට දෙල් ගස ලන්දේසීන් විසින් මෙරටට හඳුන්වාදුන් බවට සාක්ෂි ඇතත් ගාල්ල කොටුවේ දැනට ඇති දෙල් ගස වැනි ම වූ තවත් දෙල් ගස් පේලියක් පැරණි රෝහල් ගොඩනැගිල්ලට පිටුපසින් දක්නට ලැබෙයි. කොටුවේ පැරණි පාලන වාර්තා අනුව රෝහල පිටුපස තිබූ උද්‍යානයේ සෙවණ සඳහා දෙල් ගස් පේළියක් සිටුවා ඇත.

ගාල්ල කොටුවේ පිහිටි දෙල් ගස් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර ෆෙඞ්රික් නෝර්ත් තැබූ වාර්තාවක් ද දක්නට ඇත. එහි සඳහන්ව ඇත්තේ ඔහු 1801 වර්ෂයේ සංචාරයක් සඳහා ගාල්ල නගරයට පැමිණි අවස්ථාවේ ගාල්ල කොටුවේ පිහිටි  ඕලන්ද ආණ්ඩුකාර නිල නිවස අවට රට දෙල් ගස් රැුසක් දුටු බවයි. එහෙත් ඔහුගේ වාර්තාවේ පැරණිම දෙල් ගස සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නැත.

කෙසේ වෙතත් කවරකු කවර කාලයක රට දෙල් මෙරටට ගෙන ආවද රට දෙල් යනු මෙරට ඉතා ජනපි‍්‍රය ප‍්‍රනීත ආහාරයකි. ගාල්ලේ ඇති මෙරට පැරණිතම දෙල් ගසයැයි සැළකෙන දෙල් ගසේ ගෙඩි ඒ ප‍්‍රදේශයේ ඇති අනෙක් දෙල් ගස්වල සෑදෙන ගෙඩි වලට වඩා රසවත් බව එහි ඵලයන් ආහාරයට ගත් බොහෝ දෙනා පවසති. 

 

Leave a Reply