අධික උණුසුමෙන් බේරෙන්න ජනතාවට උපදෙස් මාලාවක්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කළ යුතු බව එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව

  • පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම. (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)
  • පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම.
  • පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම.
  • හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම.
  • එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම.
  • වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම.

මෙම අවදානම් තත්ත්වය උද්ගතව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල (විශේෂයෙන් බටහිර හා දකුණුදිග වෙරළ තීරයන් හි) පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙනදාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟයි.

මෙම උෂ්ණත්වය අධික වකවානුවේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද යහපැවැත්ම උදෙසා ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.