දුෂ්කරතා මැද පාකිස්තානයට ගොස් ලක් මව රනින් සැරසු දිරිය දියණිය

මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, කරිපට්ටමුරිප්පු පුදියනගර් පදිංචි 20 හැවිරිදි ඉන්දුකාදේවි ගනේෂ් විසින් පාකිස්තානයේ පැවැත් වූ කික් බොක්සිං තරගාවලියකින් රන් පදක්කමක් දිනාගැනීමට සමත් වී තිබේ.

පසුගිය 13 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය තුළ පාකිස්තානයේ පැවැත් වූ “සැවේට් කික් බොක්සිං” තරගාවලියේදී වයස අවුරුදු 25 කාණ්ඩයේ කිලෝග්‍රෑම් 50 – 55 බර පන්තිය යටතේ පැවැත් වූ කික් බොක්සි තරගයෙන් ඉන්දුකාදේවි දැරිය මෙම රන් පදක්කම දිනාගෙන ඇත.

ඉන්දුකාදේවිගේ පියා කුඩාකල අහිමිව ඇති අතර ඇයගේ මව හා ප්‍රදේශයේ සිටින දානපතියන්ගෙන් ලද උපකාර මත ඉන්දුකාදේවි පාකිස්තානය වෙත ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

“මම ඉතාමත් දුෂ්කරව මේ තත්ත්වයට පැමිණියා. මගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුදෙනා වෙත ස්තූතිය පුදකරනවා. පියා නොමැතිව මම මේ තත්ත්වයට ගෙන ඒමට උත්සාහ ගත් මගේ අම්මාට සියලු ගෞරවය හිමිවිය යුතුයි”

“ඔබගේ දරුවන්ගේ දක්ෂතාව වෙනුවෙන් අවස්ථාවක් දෙන්න. එතකොට ජයග්‍රහණ නිතැතින්ම ලැබෙයි කියලා මම මවුපියන්ට කියනවා.”

යනුවෙන් සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වු ඉන්දුකාදේවි පැවසීය..

ඉන්දුකාදේවිගේ ගමන වෙනුවෙන් අවශ්‍ය මුදල් පවා සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවක වවුනියාව තමිල් විරුඩයම් සංවිධානයේ එස්. චන්ද්‍රකුමාර් කන්නන් මහතා ඇතුළු දානපතියන් විසින් දැරියගේ විදේශ ගමන වෙනුවෙන් අවශ්‍ය මුදල් එකතුකොට ලබාදී තිබිණි.

මව්බිම 

Werzuo Digital

Leave a Reply