මෙරට ජනගහණයෙන් සියයට තිහක (30%) පිරිසක් කඩින් කඩ ඇතිවන නියඟ හේතුවෙන් උග්‍ර ජල හිඟ තත්ත්වයන්ට මුහුණ දෙන බවත් රටේ දස දෙනකුගෙන් (10) හතර දෙනකුට (04) තවමත් නළ ජලය නොමැති බව අද ට (16 වැනිදා) යෙදෙන “ලෝක ආහාර දිනය“ නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ මෙරට සහ මාලදිවයිනේ නියෝජිත විමලේන්ද්‍ර ශරන්, ලෝක ආහාර වැඩපිළිවෙළෙහි මෙරට නියෝජිත සහ අධ්යක්ෂ අබ්දුල් රහීම් සිද්දිකී සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ මෙරට සහ මාලදිවයිනේ අධ්යක්ෂ ශෙරීනා බස්සම් මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත්කර ඇත.
මෙවර ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ “ජලය ජීවයයි. ජලය ආහාරයයි. එයින් කිසිවෙකු මග හැරිය යුතු නැත ” යන්නයි.
කෘෂිකර්මාන්තය පදනම් කරගත් වියළි සහ අතරමැදි කලාපවල පදිංචි ජනතාව, වසර දෙකකට වරක් අධික ලෙස පවතින නියඟ තත්ත්වයන් නිසා උග්‍ර ජල හිඟයකට මුහුණ පාන බව ද නියඟයට මුහුණ දෙන ජනතාව රටේ භූමි ප්‍රමාණයෙන් සියයට 70 ක් නියෝජනය කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ලංකාව ජල සම්පතෙන් පොහොසත් වුව ද ජල කළමනාකරණයේදී අභියෝගවලට මුහුණ දී සිටින බවත් ලෝක ආහාර සංවිධානය 2021 වසරේදී නිකුත් කරන ලද වාර්තාවක ‘ජලයෙන් අධිකව ආතතියට පත් ‘ යනුවෙන් ලංකාව වර්ගීකරණය කර ඇති බවත් එහි සඳහන්ය.
ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රයෙහි විධායක අධ්යක්ෂ දිලෙන පාත්‍රාගොඩ පෙන්වා දෙන්නේ, ලොව පුරා කුසගින්න නිමා කිරීමට ඇති අවස්ථාව අපතේ යවමින් සිටින බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තු වලට අනුව සෑම වසරකම ලොව පුරා නිපදවන සියලුම ආහාරවලින් තුනෙන් එකක් එනම් ඩොලර් ට්‍රිලියන 1 ක් පමණ වටිනා ආහාර මෙට්‍රික් ටොන් බිලියන 1.3 ක් අස්වැන්න නෙළන විට සහ ප්‍රවාහනයේදී අපතේ යයි