කුරුණෑගලට වන අලියකු ඇවිත් – අලියා පලවා හැරිමට මෙහෙයුමක්

රිදීගම, ඉබ්බාගමුව, මැල්සිරිපුර සහ මල්ලවපිටිය ප්‍රදේශයට කහල්ල පල්ලේකැලේ අභයභූමියෙන් පැමිණි අලියෙකු පළවා හැරීමට වනජීවී නිලධාරීන් මෙහෙයුමක් දියත්කර තිබෙන බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අලියා අද (25) උදෑසන බඩගමුව කෝවානවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇති බව කුරුණෑගල පොලිසිය පවසයි.

මේ වන විට ගල්ගමුව සහ නිකවැරටිය අලි පාලන ඒකකවල වනජීවී නිලධාරීන් සහ මහව, පිබිදුණුගම බීට්ටු නිලධාරීන් සහ කුරුණෑගල වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ වනජීවී නිලධාරීන් ද එක්ව අලියා පළවා හැරීමේ මෙහෙයුම දියත් කර තිබේ.

මීට දින කිහිපයකට පෙර කහල්ල පල්ලෙකැලේ සිට අලි හය හතකගේ රංචුවක් ඉබ්බාගමුව ප්‍රදේශයට පැමිණ ඇති අතර ඉන් එක් අලියෙකු මෙලෙස රිදීගම මැල්සිරිපුර ප්‍රදේශයට පැමිණ තිබේ.

අනෙක් අලි රංචුව ඉබ්බාගමුව ප්‍රදේශයේ කැළෑ කුට්ටිවල රැඳී සිටින බවට වනජීවී නිලධාරීන් විශ්වාස කරන බව වනජීවි අංශ පවසයි.

ඉබ්බාගමුව,මැල්සිරිපුර,රිදීගම සහ මල්ලව පිටිය යන ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.

එම ප්‍රදේශයේ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂකවරුන් දැනුවත් කර පාසල් සිසුන් දැනුවත් කිරීමටත්, රජයේ සියලු ආයතන දැනුවත් කිරීමටත් කටයුතු කළ අතර කුරුණෑගල පොලිසිය මේ සම්බන්ධව අරක්ෂාව සපයමින් සිටින බව වනජීවි අංශ පවසයි.

විශේෂයෙන් ඉබ්බාගමුව, මැල්සිරිපුර, රිදීගම සහ මල්ලවපිටිය ප්‍රදේශයේ ජනතාවට නිරන්තර විමසිල්ලෙන් සිටින ලෙසත්, අලියෙකු ගම්වැදුනහොත් වහාම වනජීවී නිලධාරීන් දැනුවත් කරන ලෙස වනජිවි දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි. ඒ සදහා හදිසි ඇමතුම් අංක – 1992 ඔස්සේ දැනුම් දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි.

Werzuo Digital

Leave a Reply