තද වැසි පිළිබඳව ජනතාවට දැනුම් දීමක්

ඉදිරි පැය 36 තුළ සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (03) සවස නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එහි සදහන්ය

මේ අතර දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැයට කිලෝමීටර් 40ත් 45ත් අතර අගයක තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Werzuo Digital

Leave a Reply