ගොවීන්ට පතරොම් තුවක්කු

වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

අද (15) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දී ජාතික ගොවි සම්මේලනයේ ගොවි නියෝජිතයෝ ඔවුන්ට බලපාන ගැටළු පිළිබඳව කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

විශේෂයෙන් වනසතුන්ගෙන් තම වගාවන්ට සිදු වන හානි නිසා දෛනිකව විශාල පාඩුවක් සිදුවෙන බව ඔවුහු ප්‍රකාශ කළහ. එම නිසා වගා හානි වළක්වා ගැනීම සදහා පතරොම් තුවක්කු නැවතත් ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

ඒ අනුව ගොවි ජනතාවට වගා ආරක්ෂා කර ගැනීම සඳහා තුවක්කු නිකුත් කිරීමට අදාල ව අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

එමෙන්ම ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි තුවක්කු ලබා දීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා විසින්  ලිපියක් යොමු කිරීමට නියමිතය.

Werzuo Digital

Leave a Reply