කුරුණෑගල අලව්ව ප්‍රධාන මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය දුම්රිය ධාවනය සඳහා වසා තිබියදී ඒ හරහා අනතුරුදායක ලෙස ධාවනය කිරීමට උත්සාහ කළ පෞද්ගලික බසයක රියැදුරෙකු ලබන 20 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කර තිබේ
පෙරේදා (13) පස්වරුවේ මෙම අනතුරුදායක සිදුවීම වාර්තාවී තිබූ අතර, ඊට අදාළ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දුටු වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ඉක්මනින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අදාළ බස් රථය අත්අඩංගුවට ගන්නා ලෙස පොල්ගහවෙල පොලිසියට උපදෙස් දී ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මකවූ පොල්ගහවෙල පොලිසියේ නිලධාරීන් පිරිසක් පැය දෙකක් වැනි කෙටි කාලයකදී එම බසය අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ. අත්අඩංගුවට ගත් බසය ගල්නෑවේ සිට කොළඹ බලා දිනපතා ධාවනය කරවන එකකි.
මෙම සිද්ධිය වාර්තා වන අවස්ථාවේදී යාන්ගල්මෝදර දුම්රිය මාර්ගයේ සීඝ්‍රගාමී දුම්රියක් ධාවනය වෙමින් තිබී ඇති බව ද ඒ බව දන්වමින් ආලෝක සංඥා දැල්වෙමින් තිබියදීත් පෞද්ගලික බසයේ රියැදුරා වසා තිබූ දුම්රිය මාර්ගය හරහා අනතුරුදායක ලෙස ධාවනය කරවීමට උත්සාහ දරා ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
එම අවස්ථාවේදීම දුම්රිය එම ස්ථානය පසු කරමින් ධාවනය කර තිබූ අතර, යම් හෙයකින් බසය දුම්රියේ ගැටුණානම් මීට කලකට පෙර මඟීන් 48ක් මරණයට පත් කරමින් තවත් මඟින් විශාල පිරිසකට බරපතළ තුවාල සිදු කරමින් වාර්තා වූ යාන්ගල්මෝදර පෞද්ගලික බස් හා දුම්රිය අනතුර හා සමානම මාරාන්තික අනතුරක් සිදුවීමට ආසන්න ඉඩකඩක් තිබූ බව ද පොලිසිය ප්‍රකාශ කළේය.