මවක් දරු දෙදෙනා සමග ළිඳට පැනලා

කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ කාන්තාවක් සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනකු සමග අද (05) නිවසේ ළිදට පැන ඇති බව කැබිතිගොල්ලැව පොලිසිය පවසයි.

මෙහිදී එක් දරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මව සමග අනෙක් දරුවා බරපතළ තත්ත්වයෙන් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වව්නියාව රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණයකු වන අතර බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කොට ඇත්තේ මිය ගිය තරුණයාගේ 48 හැවිරිදි මව සහ 09 හැවිරිදි දරුවකු බවද පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගිය තරුණයා පූර්ණ ආබාධිත සහිත අයකු බවත් රෝහල් ගත කොට ඇති ඔහුගේ සහෝදරයා පූර්ණ කථන අපහසුතාවක් ඇති කන් නොඇසෙන බිහිරි තත්වයේ පසුවූ අයෙකු බවත් පොලිසිය පවසයි.

පැවැති ආර්ථික අපහසුතා නිසා ආබාධිත දරුවන් දෙදෙනාගේ ප්‍රතිකාර කටයුතු සිදු කර ගැනීමට මුදල් නොමැති කමින් මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමග ළිඳට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Werzuo Digital

Leave a Reply