තණකොළ කෘෂිකාර්මික භෝගයක් ලෙස නම් කෙරේ

සත්ව ආහාර සඳහා වගා කරන තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙරට සත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පුද්ගලිකව හෝ ප්‍රමාණවත් අයුරින් සිදු නොවන නිසා සත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය සදහා ඉහළ බලපෑමක් එල්ල කර ඇත.

මෙරට කිරිගව පාලනයේ යෙදී සිටින ගොවීන් හා කර්මාන්තකරුවන්ට දෛනිකව ගවයින්ගෙන් ලබා ගත හැකි කිරි ප්‍රමාණය පහත වැටීමට ගුණාත්මක බවින් ඉහළ තණකොළ නොතිබීම එක් හේතුවකි.

ගුණාත්මක බවින් උසස් හා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි තෘණ විශේෂ වන CO3, CO5, Pachon, හා Napier වර්ගවලට අයත් උසස් තෘණ විශේෂ, වෙනත් බෝග වගා කිරීමට නොහැකි ඉඩම්වල වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කිරිගව පාලනයේ දී ගවයින් සඳහා ලබා දෙන සයිලේජ් (Silage) නිෂ්පාදනය සඳහා ද තණකොළ අවශ්‍ය වේ.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග පැවැති සාකච්ඡාවක දී සත්ව ආහාර සැකසීම සදහා මෙරට උසස් තණකොළ නොමැතිකම සම්බන්ධව එම කර්මාන්තකරුවෝ අදහස් පළ කළහ. 

ගොවීන් අලෙවිය සඳහා තණකොළ වගා කරන්නේ නම් ඒවා ඉහළ මිලකට මිල දී ගැනීමට හැකියාව ඇති බවත්, එසේත් නැත්නම් රජය විසින් තෘණ වගාව සඳහා අවශ්‍ය ඉඩම් ලබා දෙන්නේ නම් තම මුදල් ආයෝජනය කර තණකොළ වගා කිරීමට හැකියාවක් ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

තණකොළ වගා කිරීම මගින් ගොවීන්ට අමතර ආදායමක් උපයා ගැනීමට ද එමගින් ඉඩ සැළසෙයි.

Werzuo Digital

Leave a Reply